ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් වාරික ගෙවීම් ප්‍රමාද වීම නිසා බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඒ පිළිබදව අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ වාරික නොගෙවූ රථ වාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“යම් සමාගමක් වාහනයක් අත්පත් කරගැනීමට අදහස් කරන්නේ නම් ඔවුන්ට හැකියාව තිබෙනවා ඒ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව මේ පිළිබඳ දැනුම්වත් කරන්න. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරනවා. ඒ පොලිස් නිලධාරීන්ව ලබා දෙන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහායි. මීට මාස කිහිපයකට පෙර මහනුවර නගරයේ දී එක්තරා රියදුරෙක්ව වාහන අත්පත්කර ගන්නා පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් ඒ රියදුරුව අල්ලගෙන ඔහුට පහරදීලා කාර් රථයේ යතුර බවට සැක කෙරෙන යතුරකුත් අරගෙන ඉන් පසුව වාහනය රැගෙන යනවා. අපිට සිද්ධ වුණා මේ වන විට එම පුද්ගලයින්ට එරෙහිව කොල්ලකෑම කියන වරද යටතේ විමර්ශන සිදුකරන්න.”
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කළේ ලීසිං සමාගම් තවමත් අසාධාරණ ලෙස වාරික අය කරන බවත් එලෙස වාරික ගෙවීම් ප්‍රමාද වූ විට තම වාහන බලහත්කාරයෙන් රැගෙන යන බවත්ය.