පුවත්

වැඩබලන පොලිස්පති සහ පොලිස් කොමිසම අතර ගැටුමක්

Published

on

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ වගකීම තමන්ට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පොලිස් කොමිෂන් සභාව සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර ඇති වී ඇති ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් පසුගියදා (22) ආරක්‍ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය වුයේ, පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ කරුණු විමසීමක් අතරතුරය.

“ පොලිස් කොමිසම සමග හඳුනාගත් ප්‍රශ්න තියෙනවා. ඔවුන් ලංකාවේ නීතිය අනුව කටයුතු කරනවා. ලෝකයේ නීතිය අනුව පොලිස් කොමිසම තියෙන්නේ පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නොවේ. ඒක තියෙන්නේ මහජනතාවගේ ප්‍රශ්න විසඳන්න සහ පොලිස් නිලධාරීන්ගේ යම් විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි. ඒ දෙකම පැත්තක තියලා වැරදි තැනකට පොලිස් කොමිසම ඇවිත් තියෙනවා.

එහිදී අපට පොලිසිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම පොලිස් කොමිසමට ලිඛිතව දැනුම්දී තියෙනවා. විශේෂයෙන් පත්කිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් සහ ස්ථාන මාරුකිරීම් කරන්න බැරි නම් පොලිස්පතිවරයා නාමිකව විතරක් පත්වෙනවා. ස්ථානාධිපති පත් කිරීම ගැන නීතිපතිගෙන් අර්ථකථනයක් ගත්තා. එහිදී කියැවුණේ පත්කිරීම කියන්නේ පත් කිරීමක් නොවෙයි ස්ථාන මාරුකිරීමක් කියලායි.

මේ නිසා අපි නිතරම ඉල්ලා සිටින්නේ පොලිස් ස්ථානාධිපති පත් කිරීම, ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීම පොලිස්පතිවරයාට පැවරිය යුතුයි කියලයි. පසුගිය කාලයේ නැවත සේවයට පත් කිරීම්වලත් ලොකු ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කොමිසමට දැනුම් දීලා තියෙනවා.”

මේ අතර, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පළකළ මෙම අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතා පවසා ඇති බව වාර්තා වේ.

ඔහු අවධාරණය කර ඇත්තේ, පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි සිදු කළ යුතු ව ඇති බවය.

පොලිස් කොමිසම මේ වන විට කොමිසම සිදුකරමින් සිටින්නේ එම වගකීම ඉටුකිරීම බවත්, ඒ අනුව නිසා කොමිසම ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැති බවත් සභාපතිවරයා තවදුරටත් පෙන්වා දී තිබේ.

Trending

Exit mobile version