Connect with us

පුවත්

වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නෑ – ජනපති

Published

on

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කරන ලෙස වෘත්තිය සමිති පවසනවා. මට අසන්නට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඉවත් කරන්න කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න අවශ්‍යයි කියන අයගේ මට්ටමට පැමිණ තිබෙනවා ද කියන කාරණයයි.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ආණ්ඩුවේ කටයුත්තක්. නමුත් විරෝධතා දියත් කළ පමණින් ආණ්ඩුව ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඔහුගේ යම් බරපතළ අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් සිතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. උපකුලපතිවරුන් සම්බන්ධයෙනුත් එම තත්ත්වය එලෙසම බව සඳහන් කළයුතුයි.

සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක වේවා වැඩ වර්ජන කළ පමණින් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ.

අපි නීති රීති අනුව ක්‍රියා කරනවා. නැතිනම් ඊළඟ වතාවේ පීඨාධිපතිවරුන් සහ ඉන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේවි. අනතුරුව ඔවුන් කියයි අපේ කැමැත්ත නැතිව ඔබට මහාචාර්යවරයෙක් පත් කරන්න බැහැ කියලා.

විශ්වවිද්‍යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. සිදුවන්නේ කුමක්ද කියා නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ විශ්වවිදයාල සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් නිසා. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රුහුණු විශ්ව විද්‍යාලය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම පිළිබඳව මම කණගාටු වෙනවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, හේග් විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය හාවර්ඩ් නිකොලස්, උපකුලපති සහ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ යන මහත්වරු ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved