පුවත්

වැල්ලම්පිටියේ  “චිටී” ගුවන්තොටේ අලුත් ආරක්ෂක පද්ධතියට කොටුවෙයි !

Published

on

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නො. 214/එස්, දෙලිගහවත්ත, අංගොඩ, මුල්ලේරියාව යන ලිපිනයේ පදිංචි එල්ලාවලගේ සරත් කුමාර නොහොත් “චිටී” නැමැති  47 හැවිරිදි අයෙකි.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමේදී මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ⁣මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

පසුගිය 19 වැනිදා මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා සිට ඇති බවද අනාවරණය වී ඇත.

එසේම, මෙම සැකකරු සම්බන්ධයෙන් 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

Trending

Exit mobile version