වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිමේෂ් සත්සර නම් තරුණයාගේ මළසිරුර භූමදානයෙන් දින 21කට පසුව අද (23) යළි ගොඩගනු ලැබීය.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ මෙය සිදුවිය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක්, බදුල්ල පොලිස් අපරාධ කොට්ටාශයේ හා කන්දකැටිය පොලීසියේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මියගිය නිමේෂ්ගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 09වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකදී දුන් නියෝගයකට අනුව මෙම මළසිරුර ගොඩගන්නා ලදී.
තම දරුවා අප්‍රේල් මස 01වනදා වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවලට ලක්ව මියගොස් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලීසිය විසින් කරන ලද විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙහිදී මෘත දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් යළි පවත්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ලබා දුන් තීන්දුවක් මත ඉකුත් 09වනදා පස්වරුවේ සිට මියගිය නිමේෂ් සත්සරගේ සුසානය වෙත කන්දකැටිය පොලීසිය මගින් ආරක්ෂාව සපයා දී තිබිණි.
ඒ අනුව අද ගොඩගත් නිමේෂ්ගේ මළසිරුර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගියේය.
මළසිරුර යළි ගොඩගත් අවස්ථාව දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවසීන් විශාල පිරිසක් එම ස්ථානය වෙත පැමිණ සිටියහ.
(පෙර පුවත 2025 අප්‍රේල් 23 ප.ව.3.10 )
වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි
වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා මියගිය 26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.
බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.
අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.
වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව කියන මීගහකිවුල, පහලගෙදර තුරුලිය සෙවන පදිංචි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති 26 වියැති තරුණයාගේ මරණයට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලමින් මීගහකිවුල හා අවට ප්‍රදේශවාසීහු පසුගිය (07) වැනිදා මීගහකිවුල නගරයේදී නිහඬ උද්ඝෝෂණයක් ද සිදු කළහ.