පුවත්

වැසි තත්ත්වය සමඟ නායයෑම් සහ ගංවතුර ගැන අනතුරු ඇඟවීම්

Published

on

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්මේතන්තුව පවසයි.

ඒ අනුව දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය, ඌරු බොකු ඔය, කලා ඔය, මහවැලි ගඟ, මල්වතු ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවධානමකට ලක්විය හැකි බව දැනුම්දී තිබේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර රජරට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනය ජලාශයේ ජල මට්ටම අඩි 31ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2,100 බැගින් ජලය මුදා හැරේ.

අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක ද විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටී.

මේ අතර, පසුගිය දින කිහිපයේදී ඇල්ල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග සක්‍රීය වූ කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම් තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

අවස්ථා කිහිපයකදීම පස් කඳු කඩාවැටීම හා ගල් පෙරළීම් වාර්තා වූ ඇල්ල වැල්ලවාය මාර්ගය ඊයේ (17) රාත්‍රියේ ද රථ වාහනයට වසා දැමීම සිදුවිය.මාර්ගය යළි විවෘත කෙරුණේ අද (18) පෙරවරු 6.00 ටය.

කෙසේවෙතත් මෙම මාර්ගයට අධික ලෙස රොන් මඩ ගලා ඒමක් නිරීක්ෂණය වෙයි.මේ හේතුවෙන් නිරන්තරයෙන් මාර්ගයට ගලා එන මඩ සහ පස් ඉවත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තද වැසි පවතින අවසථාවලදී මාර්ගය තාවකාලිකව වසා දැමීම, අනතුරු හැඟවීමට මාර්ගයේ සංඥාකරුවන් යොදවා රථවාහන ධාවනය කිරීමට සැලැස්වීම, රාත්‍රී කාලවලදී විදුලි පහන් සවිකර අනතුරුදායක ස්ථානය ආලෝකමත් කිරීමට කටයුතු කිරීම ඇතුළු පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

Trending

Exit mobile version