පුවත්

විද්‍යාපීඨ ගුරුවරුන්ටත් අධ්‍යාපනවේදී උපාධි

Published

on

විද්‍යාපීඨ ගුරුවරු (විද්‍යාපීඨ ශික්ෂණලාභින්) අධ්‍යාපනවේදී උපාධිධාරීන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම ඇතුළු නව ප්‍රවණතාවන්ට සරිලන පරිදි විෂයන් අනුව ගුරුවරුන් බිහි කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳ නිවේදනයක් යොමුකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, මේ සඳහා දිවයිනේ තිබෙන විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා වූ ජාතික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවය.

1986 වසරේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කරනු ලැබූ අතර, ඊට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුවරුන් ලෙස වසර 03ක පුහුණුවක් ලබති.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් වී පාසල්වල 1-11 ශ්‍රේණිවල විවිධ විෂයන් ඉගැන්වීම් සඳහා පත්කිරීම් සිදුවේ.

රජයේ නව තීරණය ගැන ගුරු අධ්‍යාපනඥ සේවාවේ වෘත්තීය සමිති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති ද දැනුම්වත් කර, මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුමැතිය ද ලැබී ඇති අතර, ඒ සඳහා වූ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් අධ්‍යයනය කර අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.

ඒ සඳහා නීතිපති නිශ්කාශනය ලැබීමෙන් පසු මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් අනතුරුව, අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇත.

මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් (විෂය වර්ග අනුව) 2028න් පසු පාසල් පද්ධතියේ ගුරු සේවයට කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

Trending

Exit mobile version