Connect with us

පුවත්

විදුහල්පති මාරුව මූලික අයිතිවාසිකම් කඩ කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය 

Published

on

2016 වසරේ නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරිය වශයෙන් කටයුතු කළ කේ. ඩී. බන්දුලානි බස්නායක මහත්මිය රාජ්‍ය සේවා කොමිසමේ රීතීන්ට පටහැනිව කිසිදු හේතුවක් නොදන්වා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරු කර හැරීම තුළින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කළේය.

සිය ස්ථාන මාරුව අභියෝගයට ලක්කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් ගොනුකළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත්වන අවස්ථාවේ එම පාසලේ පරිපාලනය දැඩි අවුල් ජාලයක් බවට පත්ව තිබූ බවත් තමන් දැඩි පරිශ්‍රමයකින් කටයුතු කිරීමෙන් අනතුරුව එම පාසල “ඒ” ශ්‍රේණියේ පාසලක් දක්වා උසස් කිරීමට කටයුතු කළ බවත්ය.

ඉන්පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 2016 වසරේ අගෝස්තු මස 10 වනදා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තමන්ව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මාරු කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කාරිය පවසන්නීය.

පසුව  පුරප්පාඩු වූ විදුහල්පති තනතුර සඳහා රෝහණ කරුණාරත්න නැමැත්තෙකු පත් කෙරුණු බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ස්ථාන මාරුවීමක් ලබා දීමට කටයුතු කෙරුණු බව චෝදනා කරන පෙත්සම්කාරිය රෝහණ කරුණාරත්න නමැත්තා අදාළ විදුහලෙහි විදුහල්පති ලෙස පත් කිරීමේ යටි අරමුණින් මෙම මාරු කිරීම සිදුකර තිබෙන බවත් චෝදනා කර සිටී.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටින්නේ, මෙම ස්ථාන මාරුව සිදුකිරීමට පෙර පෙත්සම්කාරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට වග උත්තරකරුවන් අසමත් වී ඇති බවත් ඒ තුළින් රාජ්‍ය සේවා කොමිසමේ රීති 221 උල්ලංඝනය වී තිබෙන බවය.

එමෙන්ම අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමට වගඋතරකරුවන් අසමත් වී තිබෙන බවත් අධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

මේ තුළින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව අදාළ වන්දි හා නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් රජය වෙත කළ නියෝගය වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු 14 දෙනෙකු නම් කර තිබේ.

(දෙරණ)

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved