Connect with us

පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් කාර් පර්මිට් 1000ක් අවභාවිතයේ, මන්ත්‍රීලා 10කුත් පර්මිට් අරගෙන

Published

on

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ.

විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ, විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඉදිරියේදී එය සභාගත කෙරෙනු ඇති.

2023දී මන්ත්‍රීලා 10ක් බදු නැතිව වාහන ගෙනල්ලා

මේ අතර, රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටවු බව කියනු ලැබු තත්වය උඩ, තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ඒ බව අනාවරණය වන්නේ ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින්ය.

එම තොරතුරු අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්විම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර හිමිව තිබේ.එම වාර්තාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්, සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්, විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397, බදු නිදහස් කිරිම් යටතේ එම වර්ශයේ දී ශ්‍රි ලංකාවට ආනයනය කර තිබේ.

ඊට අමතරව 2023 වර්ෂයේදි කිරිපිටි සම්බන්ධයෙන් අවස්ථා 613 කදී, උණ ලී සම්බන්ධයෙන් අවස්ථා 18කදී, තිරිඟු පිටි සම්බන්ධයෙන් අවස්ථා 716දී ගෑස් හා තෙල් සම්බන්ධයෙන් අවස්ථා 770කදී බදු නිදහස් කිරිම් ලබා දි තිබෙන බව සඳහන්ය.විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදී ඇති වාහන බලපත්‍රවලින් විශාල දූෂණයක් සිදුවන බව එම කාලයේදී එවකට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව ඔහු එහිදී සෘජුවම පැවසීය.

ඒ මහතා එසේ කියා සිටියේ 2024 වසරේ අප්‍රේල් 01 වැනිදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

ඔහු එහිදී මෙසේද කීය.

එසේම, විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයනට පළමු බලය ලත් මෙරට නියෝජිතයා ලෙස පත් කෙරුණු දහම් පෙරේරා මහතාට අයත් ඕවර්ලෑන්ඩ් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම (Overland Automobiles Pvt Ltd) අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ බලපත්‍ර මුදල් වලට ලබා ගනිමින් ඒවා ගෙන්වා මෙරට ධනපතියන්ට විකුණා ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබුණු බලපත්‍රවලින් වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇත්තේ එම සමාගම බවද මේවන විට කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇති බව වාර්තා වේ.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved