පුවත්

“විදෙස් මුදල් තරමටම චීන ජාතිකයන්ගේ මිත්‍රත්වයත් අවශ්‍යයි”

Published

on

කොවිඩ් වසංගතයෙන් පසුව චීනයෙන් පිටතට ගමන පළමු සංචාරකයන් පිරිස ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට පැමිණීමට නියමිත බව චීන මාධ්‍ය වාර්තා කරයි.

‘චයිනා ඩේලි’ පුවත් සේවයේ දැක්වෙන්නේ ඉහත සංචාරකයන් රැගත් ගුවන්යානය ෂැංහායි නුවර පිහිටි පුදොංග් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මාර්තු 03දා පිටවීමට නියමිත බවයි.

රටවල් සහ කලාප 20 කට කණ්ඩායම් ලෙස සංචාරය කිරීම සඳහා වෙන්කරවා ගැනීම් සිදුකිරීම ඇරඹීමට චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පෙබරවාරි 06 දා අවසර ලබාදී තිබුණු අතර, එම රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘චයිනා ඩේලි’ වෙත අදහස් දක්වමින් ෂැංහායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සුල් කාර්යාලයේ කොන්සුල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව චීන සංචාරකයන් වැඩිවැඩියෙන් ශ්‍රී ලංකාවට පැමිණෙතැයි අපේක්ෂා කළද තෙවසරක කාලයක් පුරාවට විදෙස් සංචාර වල නිරත නොවූ ඔවුන් වැඩිවශයෙන් උනන්දු වන්නේ චීනයට භූගෝලීය වශයෙන් සමීප රටවල් වල සංචාරය කිරීමට බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව බොහෝ චීන සංචාරකයින්ට ආකර්ශනීය වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබේ.

දෙරට අතර සංස්කෘතික බැඳීම් බොහොමයක් පවතින බවට පවසන ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදේශ මුදල් තරමටම ශ්‍රී ලංකාවට චීන ජනතාවගේ මිත්‍රත්වයද වැඩිවැඩියෙන්  අවශ්‍ය බවයි.

වසර 2018දී මෙරටට චීන ජාතික සංචාරකයන් ගණන 280,000ක් වූ අතර, සමස්තයක් වශයෙන් මේ වසරේදී සංචාරකයන් මිලියනයක් ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා ඇත.

පෙබරවාරි 6දින ප්‍රකාශයට පත්වූ චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ නිවේදනය සමග, ෂැංහායි හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් යළි ඇරඹීමට සංචාරක ඒජන්සි හා අනෙකුත් පාර්ශව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා කොන්සල් පියවර ගෙන තිබේ.

ෂැංහායි සහ කොළඹ අතර “සහෝදර නගර” සබඳතාවලට මෙම වසරට වසර 20ක් සැපිරෙන අතර, චීන සහ ශ්‍රී ලාංකික ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට සංස්කෘතික, සංචාරක සහ ව්‍යාපාරික සන්නිවේදනය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත.

(මූලාශ්‍රය : චයිනාඩේලි)

Trending

Exit mobile version