පුවත්

විරෝධතාකරුවන්ට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක්

Published

on

අද (17) දින සිට 21 වනදා දක්වා සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

මෙම පිරිස ඉහත සඳහන් දින කිහිපයේ  වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම දැනුම් දීම සිදුකර ඇත.

ඒ අනුව, පහත සඳහන් වග උත්තරකරුවන් වන,

  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල.

හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත මෙම දැනුම් දීම සිදුකර තිබේ.

අධිකරණයෙන් දැනුම් දී ඇත්තේ අදාළ දිනවල දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට වගබලා ගතයුතු බවටය.

එමෙන්ම මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදුකිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවට අධිකරණයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Trending

Exit mobile version