Connect with us

පුවත්

විශ්වවිද්‍යාල නවක වදයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Published

on

පසුගිය වසර 03ක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් හා ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී විශාල ටයරයක් තමා මත පෙරළා නවකවදයට ලක් කිරීමේ සිද්ධිය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පසිඳු හර්ෂණ ද සිල්වා නැමැති සිසුවා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී දිවයිනේ ක්‍රියාත්මක රජයේ විශ්ව විද්‍යාල 16ක් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.

බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ  ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම ඊයේ (11) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තා පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර විශ්වවිද්‍යාල වෙත නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන බවත් ඇය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන පොලිස්පතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටින බවත් ජ්‍යේෂ්ඨ රජයේ නිතිඥවරිය සඳහන් කර තිබේ.

එහි දී කොළඹ, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාර්තා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස අධිකරණයෙන් අයැද තිබේ.

මෙහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හරහා තම සේවාදායකයා කිසිදු වන්දියක් අපේක්ෂා නොකරන බව සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනාගතයේ දී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන මෙන් පමණක් පෙත්සම්කරු අධිකරනයෙන් ඉල්ලා සිටි බව ජනාධිපති නීතිඥවරයා කියා පවසයි.

ඒ අනුව අදාළ පෙත්සම යළි ලබන මස 10 වනදා කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එදිනට පෙර අදාළ වාර්තා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ කොළඹ, කැලණිය, පේරාදෙණිය, වයඹ, වවුනියාව, සබරගමුව ඇතුළු රාජ්‍ය විශ්ව විද්‍යාල 16ක් වෙත නියෝග කර තිබේ.

(මුලාශ්‍රය – දෙරණ)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved