Connect with us

පුවත්

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්

Published

on

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් ඒ මහතා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර  හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් ජනරාල්  එම්.ජේ.ගුණසිරි මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට  එක්වෙමිනි.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මෙසේද පැවසීය

“මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ආදායම් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආයතන තුන නීතිමය රාමුවක් තුළ අදාළ බදු එකතු කිරීම් සිදු කරනවා. නමුත් මෙරට විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට
මිත්‍යා මත ප්‍රචාරය කිරීමට සමහර කණ්ඩායම් කටයුතු කරනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය  රුපියල් බිලියන 90කටත් අඩු බවද කිව යුතුයි. එම බදු ආදායම් ගෙවීමට තිබෙන  බහුතරයක් ආයතන  රාජ්‍ය ආයතන බවද සඳහන් කළ යුතුයි.  අනෙක් ආයතන වෙතින්  බදු මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ‍ය වෙත යොමු වී තිබෙනවා. එම නිසා එම මුදල් සැලකිය යුත්තේ අත්හිටවූ බදු ලෙසයි. එම අධිකරණ ක්‍රියාවලිය නිමවූ පසු නැවත බදු අය කර ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%ක් -5%ක් අතර ප්‍රමාණයක බදු හිඟයක් පවතිනවා. නමුත් සමස්තයක් ලෙස ගත් කල පසුගිය වසර දෙකක කාලය තුළ රාජ්‍ය බදු ආදායම විශාල ප්‍රමාණයකින් වැඩි වුණා.

ඒ අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ත්‍රිත්වය 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගෙන තිබෙනවා. ඒ සමඟ වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවත් පැවසිය යුතුයි.

මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුව වෙත අවධානය යොමු කළහොත් එය 2023 වසරේ රුපියල් බිලියන 179ක ආදායමක් ලබාගෙන තිබෙනවා. 2024 වසරට ලබා දී තිබෙන ඉලක්කය රුපියල් බිලියන 232යි. 2023 අගෝස්තු 22 වන දා වනවිට අප රුපියල් බිලියන 106.5ක ආදායමක් ලබා තිබූ අතර, 2024 අගෝස්තු මාසයේ දී රුපියල් මිලියන 132.7ක ආදායමක් හිමි කර ගෙන තිබෙනවා. එම කාල සීමාව අනුව මේ වසරේ දී  24.6%ක වර්ධනයක් පෙන්නුම් කරනවා .  

ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවට බලපත්‍ර නිකුත් කිරීම මඟින් ආදායම් ලැබෙනවා.   නව බලපත්‍ර ලබා දීමේදී මහ නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 15ක්, නගර සභා සීමාවක් තුළ රුපියල් මිලියන 12.5ක් හා ප්‍රාදේශීය සභා සීමාවක් තුළ රුපියල් මිලියන 10ක් ලබා ගැනීම සිදුකරනවා.  

නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ රුපියල් මිලියන 25ක මුදලකටයි. මේ වසරේ අගෝස්තු 20 වැනිද වන විට රුපියල් බිලියන 132.4 ප්‍රමාණයක් උපයා ගැනීමට අප දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. 2023 වසරේ අප ආයතනයේ  හිඟ බදු මුදල රුපියල් මිලියන 1040ක් වුවත් එයින් රුපියල් මිලියන 609 ක්  මෙම වසරේ පෙබරවාරි මාසය වන විට අය කර ගැනීමට හැකියාව ලැබුණා. අනෙක් සියලු හිඟ බදු මුදල් අධිකරණ ක්‍රියාවලියකට නතුවී තිබෙන බව කිව යුතුයි.”

මෙම මාධ්‍ය සාකච්ඡාවට  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති)  සමන් ශාන්ත මහතා හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරී අනුර මුතුකුඩේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved