Connect with us

පුවත්

ශ්‍රීලංකන් ගුවන් යානයක් පැහැරගත් බව කී අය වැල්ලවත්තෙන් අල්ලයි

Published

on

ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පැහැර ගැනීමට ලක්කර ඇති බවට ශ්‍රීලංකන් ගුවන් සමාගම, ජනාධිපති කාර්යාලය, පොලිසිය මෙන්ම බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළටද දුරකථන ඇමැතුම් ලබාදුන් බව කියන අයකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාරදී තිබේ.

පෙරේදා (11) මෙම සිදුවීම සිදුව ඇත.

මේ පණිවුඩ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කඩිනම් අවධානය යොමු කර ඒ අනුව දුරකථන පණිවුඩ ලබාදුන් පුද්ගලයාගේ දුරකථන අංකයද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම අංකය යොමුකර දුරකථන විශ්ලේෂණ වාර්තා හා සන්නිවේදන කුලුනු වාර්තා ඔස්සේ කළ සොයා බැලීමේදී අදාළ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ සිට මෙම ඇමතුම් ලබාදී ඇති බට තහවුරුකරගෙන පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවත්ත පොලිසිය විසින් වැල්ලවත්තේ පටුමගක පිහිටි හෝටලයක් වටලා සැකකරු සොයාගෙන තිබිණි. 

සැකකරු පොලිසියට ප්‍රතිචාර නොදක්වා කාමරයේ දොරගුළු දමාගෙන සිටියදී පොලිසියට දොරකඩා කාමරයට ඇතුළු වීමටද සිදුවී ඇති බව පැවසේ.

එම සැකකරු සන්තකයේ තිබී ටැබ් යන්ත්‍රයක්, අයි ෆෝන් එකක්, රවුටරයක්, හෑන්ඩ් ෆ්‍රී යුගලක් හා මුදල් හුවමාරු කළ බැංකු රිසිට් පත් රැසක් ද සොයාගෙන ඇත. 

ටැබ් යන්ත්‍රයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, ධජ, රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප, ගුවන් තොටුපළ ඡායාරූප සහ ගුවන් යානාවල ඡායාරූපද තිබූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

සැකකරු විසින් පෙරේදා (11) දිනය පුරා ගුවන් යානාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් වරින් වර දුරකථන ඇමතුම් ලබාදී ඇති බවද මෙහිදී කරන ලද ප්‍රශ්න කිරීම් මගින් අනාවරණය වී තිබිණි.

සැකකරු අත්අඩංගුවට පත් හෝටලයේ කාමර අංක 501 මාස තුනක කාලයක සිට වෙන්කරගෙන ඇතැයිද දිනකට රුපියල් තුන්දහස බැගින් කාමර කුලිය ගෙවා ඇතැයි ද ඊට පෙර සැකකරු කොළඹ 02 ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇතැයිද ඒ සඳහා දිනකට රුපියල් 5000 බැගින් ගෙවා ඇතැයිද හෙළිකරගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටින මෙම සැකකරු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවත් විදේශ රටවලින් ඩොලර් ලැබෙන වෙනත් කටයුතුවලද නියැළී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මොහු මෙම ක්‍රියාවද අයිස් මත්ද්‍රව්‍ය පානය කර සමාජ කැලඹීමක් ඇති කිරීමේ අරමුණින් කර ඇති බවට සැකකරන බවද පොලිසිය කියා සිටියි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන් ගුවන්තොටුපළ පොලිසිය වෙත ඊයේ භාරදී ඇත.

සැකකරු සන්තකයේ තිබූ ටැබ් යන්ත්‍ර හා සැකකරුගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම සැකකරු ගේ ප්‍රකාශ ගැටලු සහගත බවද වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින බවද පොලිසිය කියයි.

පුවත්

ADB අධ්‍යාපනයට දුන් ණය ආධාර නවත්වන්න යයි; හේතුව ව්‍යාපෘතිවල ප්‍රගතියන් නෑ

Published

on

By

මෙරට අධ්‍යාපන ව්‍යාපෘතිවලට ලබා දෙන ණය ආධාර නතර කිරීමට සිදු වන බවට ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරු ඇඟවීම කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය.

ලබා දී ඇති ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් නොවීම මීට හේතු වී ඇත.

විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ලබා දී තිබෙන ඩොලර් මිලියන අනූ නවයක ණය ආධාර සම්බන්ධයෙන් එම නියෝජිතයන් ප්‍රශ්න කර තිබේ.

මෙම මුදල ලබාගෙන ඇත්තේ විෂය මාලා නවීකරණය, පාසල් පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙන් ම පාසල් ඇගයීම් ක්‍රමය විධිමත් කිරීම වෙනුවෙනි.

මෙම එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට නොහැකි වී තිබෙන නමුත් සූදානම් වීමේ වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වැය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මෙම ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ගිවිසුම් කාලය පවා අවසන් වී තිබෙන බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් පෙන්වා දී තිබේ. දහවැනි ශ්‍රේණියේ විෂයමාලා නවීකරණයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු ආරම්භ කර තිබුණ ද ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ එක සහ හය ශ්‍රේණිවල ප්‍රතිසංස්කරණ පමණක් වීම ද එම නියෝජිතයන්ගේ විවේචනයට ලක් වී ඇතැයි පැවැසේ.

මේ දක්වා අධ්‍යාපන ව්‍යාපෘති 42ක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 1330ක පමණ ණය හා ආධාර මෙරටට ලබා දී තිබේ.

ණය හා ආධාර ඉල්ලා සිටීමට පදනම් කර ගත් ප්‍රතිසංස්කරණ යෝජනා සහ එම වැඩසටහන්වලට අදාළව කර තිබෙන වියදම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ව්‍යාපෘතිවලින් ප්‍රගතියක් අත් නොවීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙසත් ලංකා ගුරු සංගමය අමාත්‍යාංශයෙන් දැඩි ඉල්ලීමක් කරයි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හිටපු ඇමැති දයාගේ දේපල වෙන්දේසියට දාලා

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ජූලි 2 දා උදෑසන 10 ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. 

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් මෙලෙස දැනුම් දී ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු දස කෝටි හතළිස් දෙලක්ෂ විසිනව දහස් තුන්සිය හතළිස් දෙකක (104,229,342) මුදලක් අයකර ගැනීමේ අරමුණෙන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසි කිරීමකට තීන්දු කර තිබේ. 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු දසකෝටි අසූතුන් ලක්ෂ නවදහස් තුන්සිය හතළිස් දෙකක (108,309,342) මුදලින් රුපියල් හතළිස් ලක්ෂ අසූදාහක (4,080,000) පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති නිසා ඉතිරිය අය කරගැනීමේ අරමුණින් 2022 නොවැම්බර් 10 ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කරන බව දැනුම් දී තිබේ.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ප්‍රසිද්ධ දැන්වීමේ පළ කර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

කලා

රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන

Published

on

By

ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවෝ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවෝ රැසක් මීට එක් වූහ.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved