Connect with us

පුවත්

“ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”

Published

on

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“ආයුබෝවන්

ආදරණීය පුරවැසියනි,

සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි.  ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි.

මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා. 

ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.

ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා.

වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා. 

මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ.

මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.

ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.

ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට  ගෙන ඒමට මට හැකිවුණා.

එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා. ඒ ගැන මම සතුටු වෙනවා.

මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.

මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා. 

වැල් පාළමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.
මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුම දෙනාටත්,
මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved