Connect with us

පුවත්

ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු ජනපතිවරුන් සුහද සාකච්ඡාවක

Published

on

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු විය.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද විශේෂ අවධානයක් යොමු විය. 

එමෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වූ අතර ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කමද අවධාරණය කෙරිණි. 

1956 දී පැවති බැන්ඩුන්ග් සමුළුවට සහභාගිවීම දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින් සිය අදහස් දැක්වීම ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය සහයෝගීතාව වර්ධනය කිරීමේදී එවැනි සමුළුවල පවතින වැදගත්කම ද පැහැදිලි කළේය. 

එසේම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතුවලදී ඉන්දුනිසියානු ජනාධිපති විඩෝඩෝ මහතාගේ නායකත්වය පිළිබඳව ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය. 

ජල කළමනාකරණය පිළිබඳ තීරණාත්මක කාර්යභාරය ද මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ලෝක ජල සමුළුවේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ජල සම්පත් කළමනාකරණයේදී රටවල් මුහුණ දෙන පොදු මූල්‍ය අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය සදහා සහභාගිවීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද පළ කර සිටියේය. 

සන්ධාන ලේකම් කාර්යාලයක් ද පිහිටුවීම පිළිබඳව ඉන්දුනීසියාව වෙත සිය ප්‍රශංසාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට එහි පවතින වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා දෙරට අතර  ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට (PTA) එළැඹීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
ඉන්දුනීසියානු ඖෂධ සමාගම් ශ්‍රී ලංකාවේ ඖෂධ එන්නත් වෙළෙඳපොළට ඇතුළු වීමට දක්වන උනන්දුව පිළිබඳව ද සඳහන් කළ ඉන්දුනිසියානු ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාම් ඔයිල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඉවත් කරන ලෙස ද  ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

එරට විශාලතම පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඇතුළු ඉන්දුනීසියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සඳහන් කළ විඩෝඩෝ මහතා තිරසාර ජල කළමනාකරණය සහ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජලය සම්බන්ධව රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ දේශපාලන නායකත්වයේ වැදගත්කම  පැහැදිලි කළේය. 
එමෙන්ම ඉන්දියන් සාගර කලාපීය වටද්දර රටවල සංගමය සඳහා  ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිගන්නා බව සඳහන් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ඒ සඳහා සිය දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

ඉන්දියාව සහ සිංගප්පූරුව සමඟ ශ්‍රී ලංකාව දැනට එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව සමඟ පවතින සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් 2025 මුල් භාගය වන විට ඉන්දුනීසියාව සමඟ වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කළේය. 

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමෙන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳ සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වීම අනෙකුත් දකුණු ආසියානු රටවල් වලටද ඊට ඇතුළත් වීම දිරිමත් කරනු ඇති බව ද සඳහන් කළේය. 

දැනට පවතින ආනයන සීමා ඉවත් කිරීම පිළිබඳව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළ අතර ඉන්දුනීසියානු ඖෂධ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවට සහතික විය.

ඉන්දියන් සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව ද මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ආසියාන් සංවිධානයේ ඉන්දු පැසිෆික් ඉදිරි දැක්ම සඳහා සහය දක්වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය සාගර කටයුතු සම්බන්ධයෙන් සමීප ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාවක අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
කලාපීය වාණිජ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ රජයන්හි ප්‍රධානීන් අතර නිරන්තර රැස්වීම් පැවැත්වීම මෙන්ම ඉන්දුනීසියාව සමඟ නිශ්චිත ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.
තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වූ කාර්යභාරය අවධාරණය කරමින් ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානයට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳව ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කළේය. 
මෙම මුලපිරීම වෙනුවෙන් සහයෝගය දැක්වීම සඳහා දෙරටේම අදාළ අමාත්‍යාංශ අතර අඛණ්ඩ සහයෝගීතාවයක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය. 

නුදුරු අනාගතයේදී තමාගේ ජනාධිපති ධුරයේ කාලසීමාව අවසන් වීමට නියමිත බව සඳහන් කළ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා, ඉදිරියේදී බලයට පත්වන ඉන්දුනීසියානු නව පරිපාලනය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ නව නායකත්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මහතා වෙත පුද්ගලික ආරාධනයක් ද සිදු කළේය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

යුද්ධ හමුදාව රට වැසියන්ගෙන් කළ කාරුණික ඉල්ලීම

Published

on

By

වර්තමානයේ දී සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත විවිධ යෙදවුම් තුලින් (YouTube, Tik tok හා Facebook) සිදුකරනු ලබන රූප රචනා, ගීත හා කෙටි වීඩියෝ සඳහා යුද්ධ හමුදා නිල ඇඳුම් අනුමැතියකින් තොරව යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිකර අන්දමින් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

මෙලෙස යුද්ධ හමුදා නිල ඇදුම් අවසරයකින් තොරව නිර්මාණ කටයුතු සඳහා භාවිත කිරීම නීති විරෝධි ක්‍රියාවක් වුවද බොහෝ දෙනා තම නොදැනුවත්කම මත මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙලෙස නොදැනුවත්කමින් සිදුකර ක්‍රියාවන් හේතුවෙන් මව්බිම වෙනුවෙන් තම ජිවිත, අවයව පූජාකල යුද්ධ හමුදා සාමාජිකයින් පැලදි හා අදටත් මෙම දේශය ආරක්‍ෂා කරන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා ගෞරවයෙන් හා අභිමානයෙන් පලදින නිල ඇදුමක් මෙවැනිවූ ක්‍රියාකාරකම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත යුද්ධ හමුදා ප්‍රතිරූපයටම හානියක් සිදුවන අතර, දශක තුනකට ආසන්න කාලයක් පුරා මව්බිම වෙනුවෙන් තම ජීවිතය කැපකල රණවිරුවන්ද හෑල්ලුවට ලක් වන බව එම නිවේදනයෙන් ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානි කරන මෙවැනි දේ සිදුකිරීමෙන් වලකින ලෙසට  ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සිය නිවේදනයෙන් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දීමක්

Published

on

By

රජයේ වාහන දෙකකට වඩා ළග තබාගෙන සිටින හිටපු ජනාධිපතිවරුන්ට එම අතිරේක වාහන වහාම භාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන්ගේ කාර්යන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඊට අනුව අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට පරිහරණය කිරීම සඳහා වෙන්කරන ලද නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකක් ලෙසයි සඳහන් කර ඇත.

එහෙත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අදාළ උපදෙස් වලට අනුව ක්‍රියා කරද්දි තවමත් හිටපු ජනාධිපතිවරුන් වාහන දෙකකට වඩා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇත.

Continue Reading

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved