Connect with us

පුවත්

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන 5වැනි සාකච්ඡාව ඇරඹෙයි

Published

on

ආසියාන් රටවල් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන සහ නැගී එන ආර්ථිකයන් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට සමගාමීව ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය අද (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු  කේ.ජේ. වීරසිංහ  මහතා සඳහන් කළේ  එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා  – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි.

මීළඟ සාකච්ඡා වටය 2023 අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 මාර්තු මාසයේදී  ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවත් ඒ මහතා පැවසීය. එසේම 2024 පෙබරවාරි මාසයේ පැවැත්වීමට යෝජිත අවසන් සාකච්ඡාවට පෙර තවත් සාකච්ඡා වට තුනක් සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය 28 වන බදාදා දක්වා පැවැත්වේ.

ගෝලීය ආර්ථිකයට ඒකාබද්ධ වීමේ ශ්‍රී ලංකා රජයේ අරමුණ මෙහිදී තායිලන්ත දූත පිරිස හමුවේ පැහැදිළි කළ වීරසිංහ මහතා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) කොටසක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවේශය ප්‍රථමයෙන් දකුණු ආසියාව තුළ පුළුල් කිරීමත්, පසුව එය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව පැවසීය.

ශ්‍රී ලංකාව දැනටමත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සඳහා ලේකම් කාර්යාලය ලෙසද කටයුතු කරන ආසියාන් ලේකම් කාර්යාලයේ මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවත්, ආසියන් සහ කලාපීය විස්තීරණ හවුල්කාරිත්ය යන දෙඅංශය තුළම තායිලන්තයේ ක්‍රියාකාරී සහභාගීත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීමට තායිලන්තයේ සහාය අපේක්ෂා කරන බවත් වීරසිංහ මහතා පැවසීය.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් (Auramon Supathaweethum) මහත්මිය මෙම සාකච්ඡා සඳහා මාර්ග ගත තාක්ෂණය ඔස්සේ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පෝජ් හාර්න්පෝල් (Poj Harnpol) මහතා ප්‍රමුඛ තායිලන්ත නියෝජිත පිරිස ද,  ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා  ශෙනුකා සෙනෙවිරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජයවර්ධන, නියෝජ්‍ය ප්‍රධාන සාකච්ඡාකරු ජනාධිපති අතිරේක ලේකම් එස්.ඩබ්ලිව්.සී. ජයමිණි  යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස සාකච්ඡාවට සඳහා සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ජනපති විවෘත කළ කාගම හිමිගේ තෙමහල් ධාතු මන්දිරේ හොරු බිඳලා

Published

on

By

ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි කරඬුව තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරයට අයත් අභිනව තෙමහල් ධාතු මන්දිරයයි.

මේ ධාතු මන්දිරය විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද එකක් වන අතර උන්වහන්සේ වැඩ වසන විහාස්ථානය ද මෙය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පෙරේදා (07) රාත්‍රියේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළුව ඇති බව පොලිසිය කියා සිටියි.

තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බව හෙළිවී ඇත.

කරඬු වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

එම ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කරගෙන ගොස් ඇත.

සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හොර පා පැදි 170ක් සමඟ අයෙක් අල්ලයි

Published

on

By

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව මට්ටක්කුලිය, රාවතාවත්ත පාර ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදු කර තිබිණි.

එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියා සිටී.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි පා පැදි 170ක් සොයා ගත් බවද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

හතලිස් පස් හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. 

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් අනුරාධපුර සහකාර බන්ධනාගාර කොමසාරිස් අද අධිකරණයට

Published

on

By

අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළවය.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වැනිදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව පැවසේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved