Connect with us

පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව පත්වීම් කිහිපයක්

Published

on

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින්  අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

මෙහිදී සම්මානලාභී ලේඛකයකු, විචාරකයකු හා මාධ්‍යවේදියකු වන ප්‍රියාන් ආර් විජේබණ්ඩාර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයෙකු ලෙස පත් කරන ලදි.

එමෙන්ම ආචාර්ය අනුෂ්කා කහඳගමගේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ, මාධ්‍යවේදිනි මහීෂා මුදුගමුව සහ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් යන මහත්ම මහත්මීන් ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙසත් මෙහි දී පත්වීම් ලැබූහ.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිධූරයට පත් ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිධරයෙකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය අධ්‍යයනයට අදාළව ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උසස් ඩිප්ලෝමාව ද (Diploma In Advanced English For Administration And Academic Purposes (DAE) හදාරා ඇති අතර, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාව හදරමින් සිටියි. කොළඹ, සබරගමුව හා පේරදෙණිය යන විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කරනු ලබයි. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක සන්නිවේදන විශේෂඥවරයෙකු හා පර්යේෂකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු වසර 25 කට ආසන්න කාලයක් මුද්‍රිත හා නව මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තෙකි. සම්මානලාභී ලේඛකයෙකු හා විචාරකයෙකි.  

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අනුෂ්කා කහඳගමගේ මහත්මිය  සමාජ විද්‍යාඥවරියක වන අතර,  ඔටාගෝ විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා අධ්‍යයන අංශයෙන් තම  ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත. එමෙන්ම ඇය නවදිල්ලියෙහි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශන ශුරී උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ඇත. ඇය ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය, නීතිය සහ සමාජ භාරය, සහ කාන්තා අධ්‍යයන සඳහා වූ මධ්‍යස්ථානයේ  පර්යේෂකවරියක් ලෙස ද, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දශකයට වැඩි අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ මහීෂා මුදුගමුව මහත්මිය වර්තමානයේ The Sunday Morning පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරිය ලෙස කටයුතු කරනු ලබයි. ගවේෂණාත්මක මාධ්‍යකරණය පිළිබඳව මෙන් ම ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව ද අධීක්ෂණය කරනු ලබයි. මීට පෙර The Island පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙස ද කටයුතු කර තිබේ. 2024 දී නීතිඥ මහීෂා මුදුගමුව මාධ්‍යවේදීන් සදහා වූ ඇමරිකා එක්සත් ජනපදයේ International Visitor Leadership Program (IVLP) on the Edward R. Murrow Program for Journalists: Research and Investigation වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් නම් කෙරුණි. ඇය ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ජපානය යන රටවල පුහුණු වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත.

තව ද ඇයගේ ජාත්‍යන්තර අත්දැකීම් අතරට ජපානයේ යොකොහාමා නගර මාධ්‍යවේදී සහයෝගිතා වැඩසටහන (ADB, ජපානය, 2017) සහ ආසියානු මාධ්‍යවේදීයින් සඳහා වූ විදේශ මාධ්‍ය මධ්‍යස්ථානයේ (FPCJ) ශිෂ්‍යත්වය (2015) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ද ඇතුළත් වේ. මෙම ශිෂ්‍යත්ව ඇයට ගෝලීය පාලනය සහ ආපදා කළමනාකරණය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේ ය. එසේම ඇය  බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් (BCIS) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාව ලබා ඇත.

මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි අත්දැකීම් ඇති දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා ලේක්හවුස් හි තිනකරන් දිනපතා සහ තිනකරන් වරමන්ජරි සතිපතා පුවත්පත්වල  ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් බාහිර උපාධිය හැදෑරූ ඔහු ඇමරිකාව, ජර්මනිය, හොංකොං, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල පත්‍රකලාවේදය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු සමස්ත ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු ලේඛකයකු හා පරිවර්තකයෙකි.

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Published

on

By

වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරනු ලැබූ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.

එබැවින් වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලැබූ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Published

on

By

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved