Connect with us

පුවත්

සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණ වාර්තාව එළියට

Published

on

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුවිය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග මහතා සාක්ෂි දෙමින් සිද්ධිය වූ දින පෙරවරු 9.30 හෝ 9.35 ට පමණ අධිකරණයේ නඩු විමසීම් ආරම්භ වූ බව පැවසුවේය.

“එදින යෙදිලා තිබුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 9.40 ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබූ දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවකු විවෘත අධිකරණය තුළට රැගෙන ආවා. එක් බන්ධනාගාර නිලධාරියකු මා අසලට පැමිණ කිව්වා ගණේමුල්ල  සංජීව අරන් ආවා කියලා. මම සැකකරුව සිරමැදිරියට දාන්න කිව්වා. 

ඒ වෙලාවේ බන්ධනාගාර නිලධාරියා කිව්වා මේ සැකකරුට හතුරෝ ඉන්න නිසා කූඩුවේ දාන්න බෑ කියලා. පස්සේ බංකුවේ වාඩි කරන්න කිව්වා. මහෙස්ත්‍රාත්වරිය විමසුවොත් ඔබතුමාලම හේතු පැහැදිලි කරන්න කියලත් මම බන්ධනාගාර නිලධාරියාට පැවසුවා.

පසුව මේ සැකකරුව බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු තිහක් පමණ  skype තාක්ෂණය ඔස්සේ ගත්තාට පසුව ස්ක්ය්පෙ සම්බන්ධතාවය බිඳ වැටුණා. පසුව ගණේමුල්ල සංජීව ගේ නඩුව කැඳෙව්වා. විත්තිකරු විත්ති කූඩුවට ඉදිරිපත් කළා.


ඒ වෙලාවේ මහෙස්ත්‍රාත්තුමිය සැකකාර ගනේමුල්ල සංජීව ගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගණේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද  තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා. නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහෙස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා. පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගනේමුල්ල සංජීව විත්ති  කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා.” යනුවෙන් සඳහන්  කලේය.

ඉන් අනතුරුව සාක්ෂි දුන් සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සිටි නීතිඥවරයෙකු වන ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක මහතා සාක්ෂි දෙමින් තමන් සිද්ධිය වූ දින පෙරවරු 8.30 ට පමණ අධිකරණ ශාලාව තුළට පැමිණි බව සඳහන් කලේය.

“පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ  ඔෆීසර් කෙනෙක් කියලා. පසුව ගණේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. 

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහෙස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහෙස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා.

ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කලා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා.  පසුව රුක්ෂාන් කියන නිලධාරියා” ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා” කියලා කෑ ගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව  කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා”
 යනුවෙන් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් අනුර විජේසිරි මහතා සාක්ෂි ලබා දුන්නේය.

ඔහු සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වනදා පෙරවරු 9.15 ට පමණ තමා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණි බවය.

“එදා පෙරවරු 9.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයින් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැඳව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි  සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා.  වෙඩි තැබීම් පහක් පමණ සිදු කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුලේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ් නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ් නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්ති කූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා.” යනුවෙන් සාක්ෂිකරු සාක්ෂි දෙමින් කියා සිටියේය. 

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 27 වන දා දක්වා කල් තැබුණි.

පුවත්

තමිල්නාඩුවට පනින්න හැදූ ලාංකිකයන්

Published

on

By

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

ඊයේ (28) දිනයේදී  ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා

Published

on

By

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට සිනොපෙක් හි ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතියට ගිවිසුම්ගතව මාස හයක් ගතවී ඇතත් තවමත් අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. 

පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. 

චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. 

එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ ගැටුම ඇතිව ඇත්තේ ඇත්තේ සිනොපෙක්ට එහි පිරිපහදු කළ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැක්කේ 20%ක් පමණක් ලෙස සම්බාධක පැනවීම නිසා බව පැවසේ.

කෙසේවුවද, සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිව නොමැති බවද පැවසේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනවබෝධ අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි මීට පෙර පැවසුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් මෙහි බාධකවලට මුහුණ දෙන බවයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

සබැඳි පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Continue Reading

පුවත්

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 2ක් අතුරුදහන්

Published

on

By

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි

මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.

ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved