Connect with us

පුවත්

සංවර්ධන සැළසුම් හදන්න දූෂිත නායකයින්ටයි උපදේශකයින්ටයි බැහැ

Published

on

“මේ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නා සමාජයක් නොවේ. පරම්පරා පහක් – අවුරුදු 93 ක් – ඡන්දය දිය යුත්තේ කුමක් සඳහා දැයි ඉගෙන නොගත් සහ ඉගෙන නොගන්නා සමාජයකි. මේ රටේ උගත් යැයි කියන්නාවූ පිරිස පවා පෞද්ගලික වාසි, වරදාන, වරප්‍රසාද වෙනුවෙන් ඡන්දය දී තමන්ගේ ආත්මාර්ථය වසා ගැනීමට ආණ්ඩුවට දොස් කියන පිරිසිකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතා ඉන්නේ ආණ්ඩු වලට දොස් කීමට ඇති නිදහස ය. මේ නොදන්නාකම, නුවුවමනාව සහ ආත්මාර්ථය නඩත්තු වන්නේ ජාතික සංවර්ධනය ගැන වැදගත් සංවාදයක් මේ සමාජයේ මෙතෙක් සිදුව නැති නිසා ය.”

දැන් අප ඉන්නේ අලුත් සංවර්ධනයකට ජනතා ඡන්දයකින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගත යුතු තැනය. අලුත් බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගත හැක්කේ ඒ සඳහා වන අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමෙනි.”අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු, අලුත් පුද්ගලයින් පත් කර ගැනීමක් නොවේ.”

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු, අලුත් පුද්ගලයින් පත් කර ගැනීමක් නොවේ. අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීම යනු මෙතෙක් නොවුනු “ජාතික සංවර්ධනය” සඳහා තිරසාර, ප්‍රායෝගික හා ජනතාවාදී සැළසුමක් ඉදිරිපත් කරන්නාවු දේශපාලන නායකත්වයක බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගැනීමය.

එවැනි අලුත් පාර්ලිමේන්තුවක් සමග ආණ්ඩුවක් පත්කර ගත හැක්කේ, මෙතෙක් අවුරුදු 93 ක ඉතිහාසයේ “සර්වජන ඡන්දය” භාවිත කිරීමේදී කුලය, ජාතිය, ආගමට අමතරව, පෞද්ගලික වාසි වරප්‍රසාද ලබා ගත හැකි යැයි ඡන්දදායකයින් විසින් තනිව තීන්දු කරන අපේක්ෂකයෙකුට නැවත වරක් ඡන්දය දීමෙන් නොවේ.

අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට හැකි වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ විසින් යෝජනා කරන ඔවුන්ගේ “ජාතික සංවර්ධනය” සඳහාවන සැළසුම සමාජ සංවාදයකට ගෙන, එවැනි සාකච්ඡා වලදී වඩාත් වැදගත් යැයි තීන්දු කෙරෙන “ජාතික සංවර්ධන” සැළසුම ඉදිරිපත් කරන පක්ෂයේ අපේක්ෂකයෙකුට ඒ වෙනුවෙන් ඡන්දය දීමෙනි.

මේ පවතින විවෘත වෙළඳපල ආර්ථිකය, සංවර්ධන ආකෘතියක් නොවේ. එය මහ නගර කේන්ද්‍ර කරගත් වෙළඳපල ආර්ථික ක්‍රියාවලියකි. ආණ්ඩු විසින් නියාමනය නෙකෙරෙන, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් හසුරුවා ගන්නා වෙළඳපලක් පිළිබඳ කතාවක් පමණි. ඒ වෙළඳපලෙහි හැදෙන්නේ දියුණු ව්‍යාපාරිකයින් නොවේ. ඒ වෙළඳපලෙහි හැදෙන්නේ ජාවාරම්කාරයින් ය. ව්‍යාපාර සඳහා නවීන තාක්ෂණය යොදා ගත් පමණින් ජාවාරම්කාරයින් ව්‍යාපාරිකයින් වන්නේ නැත. ව්‍යාපාරිකයින් යනු දියුණු කලමනාකාරිත්වයක් සමග, නූතන ලෝකයේ විශ්ව අයිතීන් ගරු කරන, ජාතික හා ජාත්‍යන්තර නීතින් අනුව කටයුතු කරන “ව්‍යාපාරික” ප්‍රජාවකි. ජාවාරම්කාරයින් උපතින්ම දූෂිතය. ඔවුහු විශාල ලාභ සඳහා ආයෝජන කිරීමේදී ආණ්ඩුවේ දේශපාලන නායකයින්ද, රජයේ ඉහළ නිලධරය හා විශේෂඥ වෘත්තිකයින්ද සමග අති දූෂිත ගනු දෙනු වල නිරත වෙති. ඊට අමතරව වෙළඳපල ලාභය වෙනුවෙන් තරගකාරී පාරිභෝගිකයින් හැදීම විවෘත වෙළඳපල ආර්ථිකයක නියතයකි. පාරිභෝගික තරගය අවසානයේ නිර්මාණය කරන්නේ ඉතා ආත්මාර්ථකාමී, දූෂිත සමාජයකි. ඒ හේතු නිසාම, විවෘත වෙළඳපල ආර්ථිකයක හැදෙන්නේ සදාචාරමය වශයෙන්ද පිරිහුණු අනීතිමය අශිෂ්ට සමාජයකි.

“සංවර්ධනය” යනු, ආර්ථික වශයෙන් තෘප්තිමත් වාගේම සාමකාමී, සදාචාර සම්පන්න, විනය ගරුක සමාජයක් සඳහා සංස්කෘතිමය වශයෙන් දියුණු මිනිසකු හැදීමේ සමාජ-ආර්ථික ක්‍රියාවලියකි.

මෙය අතිශය වැදගත්ය. ජාතික සංවර්ධන සැළසුමක් කෙටුම්පත් කිරීම, අති දූෂිත පක්ෂවල ජාවාරම්කාර දේශපාලන නායකයින්ට බාරදිය හැකි වගකීමක් නොවන බව, මේ සමාජය තේරුම්ගත යුතුය. ජාතික සංවර්ධන වැඩපිළිවෙල දියුණු සංවිධානාත්මක සමාජ කතිකාවක් ඔස්සේ සකසා ගැනීමේ පූර්ණ වගකීම සමාජය විසින් බාර ගත යුත්තකි.

ජාතික සංවර්ධනයක් වෙනුවෙන් මේ කටු සටහන අමුණා එවන්නේ ඒ වගකීමට ඔබ හවුල් වනු ඇතැයි සිතා ගෙනය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක

කුසල් පෙරේරා 

පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සහ හෙට (මැයි මස 15 හා 16)  යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved