පුවත්

සන්තුෂ්, සරෙගම හා සිලෝන් කොල්ඩ් ස්ටෝර්ස්ට අතුරු තහනමක්!

Published

on

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජැක්සන් ඇන්තනි මහතා අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය සඳහා රචනා කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය කිසිඳු අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරෙගම ෆිල්ම්ස්’‘, සන්තුෂ් වීරමන් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් යන ආයතන වලටය.

තම බුද්ධිමය දේපළ හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලමින් බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා විසින් සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට ඇතැයිද පැවසීය.

(ලංකාදීප)

Trending

Exit mobile version