පුවත්

‍සමන් ඇතුළු සමූහ ඝාතනය කොස්ගොඩ සුජීගේ වැඩක්

Published

on

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනාගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිමිකරුවා වන අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඝාතනය කිරීමට කොස්ගොඩ සුජී විසින් මීට ඉහතදීත් වෙඩික්කරුවන් යොදවා ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

එහිදී රෝයල් බීච් සමන් අනූනවයෙන් දිවිබේරා ගත් බවත් ඔහුගේ විදෙස් ආයෝජකයා වෙඩි වැදී තුවාල ලද බවත් පාතාල මර්දන ඒකකවල නිලධාරීන් පෙන්වා දෙති.

එස්.ටී.එෆ්. නඳුන්ගේ බලය පැවැති කාලයේ පටන් කොස්ගොඩ සුජී හා රෝයල් බීච් සමන් අතර විරසකයක් පැවැතුණු බවත් සුජීගේ එදිරිවාදීන් වූ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සමග සමීප සබඳතා පැවැත්වූ නිසා රෝයල් බීච් සමන් දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට පෙර සිටම ඉලක්ක වී සිටි බවත් එම නිලධාරීහු පෙන්වා දෙති.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්ගොඩ සුජී ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර මෙරටට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණේ මීට පෙර සිදුකළ මිනිස් ඝාතන රැල්ල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලටය.

තංගල්ල අසේල නමැති පාතාල ක්‍රියාකාරිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සාක්ෂිකරුවකු 2022 ජුනි 5 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට පැමිණි අයට රැකවරණය ලබාදුන් චෝදනාව රෝයල් බීච් සමන් වෙත එල්ල විය. ඒ අනුව 2022 අගෝස්තු 24 දා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම සිද්ධියේ නඩුවට සහභාගි වීමට සමන් පෙරේරාට අයත් ඩිෆෙන්ඩර් රථයෙන් පස්දෙනා පැමිණ තිබේ. 

Trending

Exit mobile version