Connect with us

පුවත්

සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නෑ – ජනපති

Published

on

සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නොමැතිව රටක් ඉදිරියට නොයන බවත්, රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතු බවත්, අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය,  ජෙනොම්  විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව  සඳහන් කළේය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව සඳහන් කර සිටියේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ  2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය  යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිනි වයෝනි විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය :

නුගේගොඩ අනුලා  විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන්  සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේදී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි  කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා.

පාසලක් යනු , අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයයි. එමගින්  රටට සේවය කිරීමට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මීට දශක පහකට පෙර පැවති අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධයාපන ක්‍රමය අතර විශාල වෙනසක් පවතිනවා.

එදා තිබුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන්  පෙළපොත් පමණයි.  නමුත් අද අධ්‍යාපනයට  ඡංගම දුරකථන  සහ පරිගණක  භාවිතය එක්ව තිබෙනවා.  එදා  විදුලි වාහන පිළිබඳ සිතා තිබුණෙ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා.  එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අද අවශ්‍යව තිබෙනවා.
සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි.

අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි.

අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට අප  සූදානම් විය යුතුයි. ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාස හොඳින් අධ්‍යයනය කළයුතුයි. යුරෝපය අද ගිනිගන්න තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කාළගුණ විපර්යාස පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාලය වසර 10 කින් ආපස්සට ගෙන එය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව 2050 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබූ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ න්‍යාය පත්‍රය 2040 වන විට අවසන් කිරීමට සියලු රටවල් සූදානම් වෙමින් සිටිනවා.

අනෙක් කරුණ වන්නේ,  ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වීමයි. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක් චේන් තාක්ෂණය,  ජෙනොම්  විද්‍යාව වැනි අංශ කිහිපයක් පමණක් අද ලෝක ආර්ථිකයට බලපෑම් කරනවා. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

මෙම තාක්ෂණයන් සමඟ අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 300ක් 700ක් අතර  විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සමග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

අපි 1970 සහ 80 දශකයේ ඇඟළුම් කර්මාන්තයට සූදානම් වු අන්දමින් අප දැන් එම තාක්ෂණයන් වැළඳ ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සූදානම් වීමට නම් අප පළමුව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක්‍රමයකට ණය ලබාදිමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.  

අද ඔබ Gen Z පරපුරේ දරුවන්. ඊළගට Gen Alpha කණ්ඩායමට සූදානම් විය යුතුයි. එහිදී ජංගම දුරකථනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි. මෙලෙස අධ්‍යාපන රටාව සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතුයි.
දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.

මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසුවියන් ආදි සිසුවියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ජනපති සමාව ලද සිරකරු පැනගිහින්

Published

on

By

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අනීතික ජනාධිපති සමාව ලබා නිදහස් වූ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනුරාධපුරය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ද යොමුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඔහුගෙන් අදාළ සිදුවීම පිළිබඳ වැදගත් තොරතුරු රැසක්ම හෙළිකර ගැනීමට හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගෙන ජනපති සමාව හිමිකරගත් අයුරු පිළිබඳ පුළුල් ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

Continue Reading

පුවත්

නත්තල් දවසෙත් අනීතිකව සිරකරුවන් 25ක් නිදහස් කරලා

Published

on

By

දෙදහස් විසිහතර වසරේදී නත්තල් දිනය වෙනුවෙන් ලබාදෙන ජනාධිපති පොදු සමාව යටතේද සුදුසුකම් නොලැබූ සිරකරුවන් 25 දෙනකු පමණ දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් අනීතිකව නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ අනුරාධපුරය බන්ධනාගාරයෙන් ජනාධිපති සමාව හිමි නොවූ පුද්ගලයකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදීය.

අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලේඛන පරීක්ෂා කිරීමේදී අදාළ සිරකරුවන් පිරිස සම්බන්ධයෙන් හෙළිවී ඇතැයි පැවසේ.

ජනාධිපතිවරයා අදාළ ලේඛන සඳහා අත්සන් තැබීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් නැවත ඒවා පරික්ෂා කිරීම නිසි ලෙස සිදු නොකිරීම හේතුකරගෙන දූෂිත නිලධාරීන් විසින් අදාළ සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදුකරන බව පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය අද අධිකරණයට

Published

on

By

වැඩ තහනමට ලක් ව පසුව අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (10) අලුත්කඩේ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතාව ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව තුෂාර උපුල්දෙණිය මහතා අද තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහාය.

කෙසේවුවද, ඊයේ පස්වරුවේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීන්දු කර තිබිණි.

ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහා මෙම තීරණයට එළැඹ තිබුණි.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතා පත්කෙරුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved