Connect with us

පුවත්

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

Published

on

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ  රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවය.

විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද ඔහු පවසා තිබේ.

“බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබමින් සිටිනවා.  හැමදෙනාගෙම තිබූ ජිවිත අවධානම පහවෙලා තිබෙන්නේ. අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරලබන දස දෙනාගෙන් කීපදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවලට මාරුකිරීමේ හැකියාව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහලෙන් පිටව යා හැකියි.

දැනට තිබෙන තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ. එය ජීවිත අවදානමේ හෙළීමක්. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල රෝහලේ තිබෙනවා”.

—————————————

(පෙර පුවත : 2024 නොවැම්බර් 02 පෙ.ව. 10:41)

බදුල්ල බස් අනතුරට හේතුව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ – බදුල්ල මාර්ගයේ අඹගස්හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වෙන්නේ, ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුර සිදුවන විට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 39 වන පාඨමාලාවට අයත් සිසු සිසුවියන් 36 දෙනෙක්, කථිකාචාර්යවරුන් 03 දෙනෙක්, එම කණ්ඩායම භාරව කටයුතු කළ උපදේශකවරයෙක්, බස් රථය භාරව ගමන් කළ ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයෙන් හා බස් රථයේ රියදුරා ඇතුළුව 42 දෙනෙක් මෙම පිරිසට අයත් වූ බව එම නිවේදනයේ දැක්වේ.

අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර මිය ගිය සිසුවියන් දෙදෙනා කුරුණෑගල හා නිවිතිගල පදිංචිකාරියන් වන බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

එම මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පවසයි.

තවද අනතුරින් තවත් 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් 07 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වුවහොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගීන් කොළඹට රැගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බවය.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විටත් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බවත් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ලැබී ඇති තොරතුරු අනුව බස් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය .

——————————————–

(පෙර පුවත : 2024 නොවැම්බර් 01 ප.ව. 12:06)


සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී අනතුරක්

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීගොස් සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුවියන් බව  සඳහන්ය

අද (01) උදෑසන 7.45ට  පමණ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි  මාර්ගයේ සිසුන් ගමන් ගත් බස්‍ රථය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු පිරිසක් බස් රථය ඇතුළත රැඳී සිට තිබේ.

එම අනතුරෙන් සිසුන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved