පුවත්

සාක්ෂි ඇත්නම් හිරුණිකාට නඩු දාන්න

Published

on

වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව සාක්ෂි ඇත්නම් නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට ඊයේ (10) නියෝග කර තිබේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍යයක් කිරීමෙන් හිටපු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධාවක් කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට මෙලෙස නියෝග කර ඇත.

සිද්ධියට අදාළ පමිණිල්ල කැඳවු අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු කාන්තාවන් 13 දෙනෙකු සහ එක් පුද්ගලයකු අධිකරණයේ පෙනී සිටියහ.

පසුගිය 2022 වසරේ නොවැම්බර් 14 වැනිදා හෝ ඊට ආසන්නන දිනයක කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ වීදී නාට්‍යයක් කරමින්, මහජනතාවට පීඩාවක් හා පොලිස් රාජකාරියට බාධා කලේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතීපතිවරයාට යවා ඇතැයි පවසන ලදී.

සිද්ධිය වු 2022 නොවැම්බර් 14 වැනිදා රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සාක්ෂි සම්පින්ඩණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ නිලධාරීන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙතෙක් නීතීපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි ද අධිකරණයේදී දැනුම් දී අත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා කරුණු දක්වමින් සිය සේවාදායිකාව ඇතුළු පිරිස කාන්තා අයිතීන් වෙනුවෙන් එදින වීදි නාට්‍යයක් කර ඇතැත් පොලිස් රාජකාරියට කිසිදු බාධාවක් කර නැතැයි ද පවසනු ලැබු අතර, කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් තම සේවාදායිකාව ඇතුළු පිරිසට කාන්තා අයිතීන් වෙනුවෙන් වීදි නාට්‍ය පෙන්වීමට බාධා කර ඇතැයිද අධිකරණයේදී පවසන ලදී.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාක්ෂි ඇත්තම් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ඔක්තෝබර් 21 වැනිදා යළි කැඳවීමට නියම කලේය.

Trending

Exit mobile version