පුවත්

“සාලිය පීරීස්ට ආරක්‍ෂාව දෙන්න’’

Published

on

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි මහත්වරුන්ගේ අත්සනින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කොට ඇත.

සිය සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධය දක්වා ඇති බවත් නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් එම පිරිස සාලිය පීරීස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධය දක්වා ඇති බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කොට ඇත.

සිය සේවාදායකයකුගේ ඉල්ලීමක් මත ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය සේවාවක් ලබාදීම හේතූවෙන් මේ වන විට සාලිය පීරීස් මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අදාළ ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ ආධිපත්‍යයේ පැවැත්ම සඳහා නීතී වෘත්තීය අත්‍යවශ්‍ය බව අධිකරණ තීන්දුවල සඳහන් බවද අවධාරණය කොට ඇත.

සිය සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට හා ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණ සංවිධාන පනත අනුවද අයිතිය ලබාදී ඇති බව සිය ලිපිය මඟින් අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ වෘත්තීය රාජකාරී වලට බාධා පැමිණවීම වැළැක්වීමට පියවර ගන්නැයිද ඉල්ලා සිටී.

එමෙන්ම ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දීමට පියවර ගන්නැයිද වැඩිදුරටත් ඉල්ලා සිටී.

(ලංකාදීප)

Trending

Exit mobile version