Connect with us

පුවත්

සාලි හඬපට තොගයක් CIDයට දෙයි : තිළිණි, ජානකී හවුල හෙළිවෙයි

Published

on

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි කියන මහ පරිමාණ රහස් මූල්‍ය ගනුදෙනුවලට අදාළ හඬපට 30ක් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26) භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් 05දා අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලි සිදුකර තිබෙන මූල්‍ය ගනුදෙනු රැසකට අදාළව ඉකුත් මැයි 03 වැනිදා දක්වා හඬපට විමර්ශන කටයුතු සඳහා භාරදුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාධ්‍යට පවසා ඇත.

තිලිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරයේ බිලියන ගණනින් තැන්පත් කළ ප්‍රකෝටිපතියන් යළි මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී ‘ඔය මුදල් ඉක්මනට ලැබෙනවා. කලබල වෙන්න එපා.’ කියමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සැනසූ කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම විහාරස්ථානයේ කිලෝ ග්‍රෑම් 2500ක් බර විශාල රන් කැටයක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුළාකර තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම රන් කැටයේ ඡායාරූපද තිලිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන ඇතුළු පිරිසක් එකට සිටින ඡායාරූප රැසක්ද විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෙළිකර තිබේ.

තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන දැනට රිමාන්ඩ් භාරයේ සිටින ඉසුරු බණ්ඩාරට අයත් බව කියන පිළිමතලාවේ නිවසක්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි තිබී රන් ආලේපිත කුට්ටි තොගයක්ද සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියකු මාධ්‍යට හෙළිකර ඇත.

තිළිණි මහරිනුත් රිමාන්ඩ්!

මේ අතර, ජංගම දුරකථන සහ උපාංග අලෙවි කරන කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් භාණ්ඩ මිලදී ගෙන රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් අගරු චෙක්පතක් ලබාදුන් බව කියන ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි ලබන මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (26 ) නියෝග කළේය.

මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (26) ඉදිරිපත් කර තිබිණි.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved