Connect with us

පුවත්

සියයට හතලිහේ පනහේ පොලියට ඔන්ලයින් ආයතන ණය දුන්නත් අපිට කරන්න දෙයක් නෑ – මහ බැංකුව

Published

on

තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 

ඊට හේතුව, තැන්පතු ලබා ගැනීමකින් තොරව ණය දීමට නීතිමය තහනමක් නොමැතිවීම බව මහ බැංකුව සඳහන් කරයි.

මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 42 ත් සියයට 50 ත් අතර මාසික පොලියකට ණය ලබාදෙන බවට මහ බැංකුවට තොරතුරු ලැබී තිබේ.

එමෙන්ම මෙම ආයතන ණය ලබාදෙන සියලු පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්, බැංකු ගිණුම් ආදී සියලු තොරතුරු ලබාගන්නා අතර, අදාළ ණය මුදල් නොගෙවන පුද්ගලයන්ට සමාජ මාධ්‍ය යොදාගෙන විවිධාකාරයෙන් අපවාද සිදු කරන්නේය.

මෙලෙස අධික පොලී මත ණය මුදල් නිකුත් කරන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉකුත් 2019 වසරේදී සකස් කරනු ලැබිණි. 

එය අනුමැතිය සඳහා දෙවරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. 

මෙම කෙටුම්පත ඉකුත් වසරේ (2024) ජනවාරි මාසයේ දී පළමු වරට පාර්ලිමේන්තුවේ කියවීම සිදු කරනු ලැබීය.

කෙසේ නමුත් මෙම කෙටුම්පත නැවත වරක් මේ මාසයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. 

අදාළ ණය දෙන ආයතන මුදල් අමාත්‍යාංශය පිහිටුවන වෙනම අධිකාරියක් හරහා අධීක්ෂණය කිරීමට නියමිතය.

(අරුණ)

පුවත්

නීතිපතිගේ පැමිණිල්ලකට සී අයි ඩී විමර්ශන

Published

on

By

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බවට නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය තුළ තමන්ට අසත්‍ය චෝදනා එල්ල වන බවට නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීපදෙනෙකු නීතිපති පාරින්ද රණසිංහ මහතාට පැමිණිලි කිරීමෙන් පසුව නීතිපතිවරයා මෙලෙස විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

විශේෂයෙන් උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරමින් මෙලෙස සමාජ මාධ්‍ය තුළ අසත්‍ය චෝදනා සංසරණය වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

තමිල් මක්කල් විඩුතල් පුලිගල් නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, ඔහුට ඇප ලබා දීමට සහාය දුන් බවට සමාජ මාධ්‍ය සටහනක් මගින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට චෝදනා එල්ල කර තිබෙන බව ආරංචි මාර්ග පැවැසුවේය.

මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමේදී ඇප ලබාදීමේ කාරණය සළකා බැලීමක් නොකළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය තුළ එල්ල වූ තවත් චෝදනාවක් වූයේ, වැඩ තහනමට ලක් වූ පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවකදී, නීතිපතිවරයා විසින් දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නොයවා ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යවා ඇති බව යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

එම අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඒ සඳහා යොමු කිරීමට නොසිටි බැවින් ඒ සඳහා කනිෂ්ඨ නිලධාරියකු යැවීමට සිදුවූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව 600 කට වැඩි අධි චෝදනා ප්‍රමාණයක් මහාධිකරණයේ ගොනුකර ඇති මොහොතක මෙවැනි චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වන බව ආරංචි මාර්ග පැවැසුවේය.

(ලංකාදීප)

Continue Reading

පුවත්

RMVයේ අංක තහඩු 15,000 ක් ගොඩගැහිලා

Published

on

By

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම මාසයක පමණ කාල සීමාවක් අඩාළ වීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පහළොස් දහසක පමණ වාහන ලැයිස්තුවක්, අංක තහඩු මුද්‍රණය සඳහා ගොඩගැසී ඇති බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.

මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලු මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය එම සමාගම පසුගිය මාර්තු මාසයේදී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත.

එබැවින් අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට සමාගම් පහළොවක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බව හෙතෙම පැවසීය.

තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් අදාළ සමාගම්වලින් සාම්පල් ගෙන්වා එහි යෝග්‍යතාව පරීක්ෂා කිරීම මේ වන විට සිදුවන බව ඒ මහතා පවසා සිටියේය.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ දී අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරාගෙන ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කළ හැකි බවද හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අංක තහඩු මුද්‍රණය සඳහා දුන් පසු ඇතැම් වාහන හිමියන් එම අංක තහඩු රැගෙන නොයෑම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ගබඩා තුළ මුද්‍රණය කළ අංක තහඩු ගොඩගැසී ඇති බවයි.

(අරුණ)

Continue Reading

පුවත්

පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට

Published

on

By

පොලිසියේ ඉහළ තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් මත ඒ අය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් එක් තැනැත්තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකක් බවද පැවසේ.

අනිත් තැනැත්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් බව වාර්තා වේ.

පොලිස් වත්කම් විමර්ශන කාර්යාංශය විසින් මේ පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය සිදු කරන බවද පැවසේ.

පසුගිය කාලයේ මේ අය විශාල වශයෙන් වත්කම් රැස්කර ඇතැයි ද ඊට අදාළ විස්තර ද සහිතව ලැබුණු පැමිණිල්ලක සටහන්ව ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved