පුවත්

සියලු දෑස් චීනය වෙතට – නූලන්ඩ්

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම අමෙරිකාවේ  අපේක්ෂාව බව මෙරට සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

කොළඹදී අද (01) දිනයේදී මාධ්‍ය අමතමින් ඇය පවසා ඇත්තේ IMF මූල්‍ය පහසුකම මෙරටට ලබාගැනීම සඳහා චීනය ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නොවන බවයි.

“ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් IMF ප්‍රමිතීන් සපුරාලීමේදී අප හා එක්වීමට ඇති සූදානම පිළිබඳව චීනය විශ්වාසනීය සහ නිශ්චිත සහතිකයක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ සෙසු ණයහිමියන් එම සහතික කිරීම් සමඟ ඉදිරිපත් වන බව අපි දකිමින් සිටින අතර, චීනයද එසේ කරනු ඇතැයි සියලු දෑස් චීනය වෙතට යොමු වී තිබේ,” යැයි ඇය වැඩිදුරටත් පවසයි.

මේ අතර, ඇය පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මාර්තු මැතිවරණය පැවැත්වීම වැදගත් බවත්,  ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් හඬක් නැගීමට ඉඩ දිය යුතු බවත්ය.

සහකාර රාජ්‍ය ලේකම්වරිය ඊයේ (31) දිනයේදී දිවයිනට පැමිණි අතර අද (01) රාත්‍රියේදී ඇය කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

Trending

Exit mobile version