Connect with us

පුවත්

සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි – ජනපති

Published

on

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි. 

තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය. 

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කෙරිණ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි. 

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා  නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද  ළඟඳීම  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමඟ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යාන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. 

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි. 

උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශිය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරික්ෂකයින්ගේ වාර්තා පමණක් ලබා ගැනිමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය කෙරිණි.

අතුරුදන්වූවහන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබි ඇති පැමිණිලි අතුරුදන්වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවිමේ යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

දූෂණ විරෝධී නීතිය ජුලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධනද සලකා බලන බව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය. 

උතුරු නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති  ලෙස හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජන අවස්ථා කැඳවිමටත්, හරිත හයිඩ්‍රජන් මගින් කොළඹ වරාය නගරයේ ආකර්ශණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය. 

උතුරේ සංවර්ධන සැලැස්මේ  විශේෂ අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය හරහා කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමය. මෙමඟින්  ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කොළඹ වරාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර පුනරීන් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස නම් කර එමඟින් ක්ෂේත්‍රයේ ප්‍රබල  වර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

 එසේම “උතුරට ජලය” ව්‍යාපෘතිය යටතේ පූනරින් වැව සංවර්ධනය කිරීම, යාපනයට නැවුම් ජලය සැපයීමේ ගංගා ව්‍යාපෘතිය, ඉරණමඩු ජලාශයේ ධාරිතාව ඉහළ නැංවීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, කංකසන්තුරේ වරාය සහ වව්නියා හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළේය. 

උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ශණිය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය, වන්නි දිස්ත්‍රික්කයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල නගරයක් ලෙස යාපනය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබදව ද ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැගෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරු දැනුවත් කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන  සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලෛයිඅරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රිවරු  සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved