Connect with us

පුවත්

සියළු විදෙස් ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 දක්වා කල්දාන්න හැකි වේවි – ජනපති

Published

on

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්,  එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද  අද බෙයිජිං නුවරදී  අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසූ ජනාධිපතිවරයා‍ ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බවත්, ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. 

එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැක ගැනීමට බිය වූ සහ ඊට කිසිඳු සහායක් ලබා නොදුන් පිරිස් දරුවා වැල් පාලමෙන් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවද කියා සිටියේය.ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය.

රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන්  සමඟ එක්වී රට ඉදිරියට ගෙනයනවාද?  එසේ නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

වැරදි පාරකට හැරුණොත්, නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම පිළිබඳ සියලුදෙනාට අවබෝධයක් ඇති බැවින් එම තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ජනතාවට හිමිවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව ගන්නා තීන්දුවෙන් තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නොව රටේ  සහ දරු පරපුරේ අනාගතය බව ද අවධාරණය කළේය.

බංකොලොත්ව, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණු රට තමා ගොඩ ගත්තේ තම පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක්, තමා පත් කළ රාජ්‍ය නිලධාරීන් හෝ තමා පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නොවන බවද පැවසූ ජනාධිපතිවරයා එම කිසිවක් නොමැතිව වසර දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩනැගීමට තමාට හැකිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය :
අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා.

අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා.

ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී  අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.

Sri Lanka Won …. !!

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.

මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.

මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.

අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි.

2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ.

මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා.

නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්.

ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.

අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා.

අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා.

සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි.ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා.

මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා.

අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා.

එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ. රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා.

හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා.

මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.

ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්.

“යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි!

මම බය නැතුව වැඩේට අත ගැහුවා.

2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.1. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.
2. ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම
3. විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට  අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම

4. මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීමමම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.
සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.

ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්, අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.

අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.

ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.

2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?

එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.

2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.

2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.

ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.

මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.

එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.

ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා. ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.

මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.

කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ.මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කිහිපයක් ගත වේවි.

නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.

අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ.

අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.

අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.

ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.

අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි. සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.

තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.

සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.

රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි?  මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?

මෙන්න මේකයි හේතුව.

ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.

ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා.

ඒ අය ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.

මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා. ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.

එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද?

මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද?  නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා. ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.

බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි. ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.

ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද?

මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා. දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.

හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා.

නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම ලැබිය යුතු ය..

රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය…..”

ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.

එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි.

ස්තුතියි

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

ඡන්දෙට සූදානම් වෙන්න. මැකෝ දැනුම් දෙයි

Published

on

By

මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ආයතන කිහිපයකට දැනුම් දී තිබේ.

රජයේ මුද්‍රණාලායාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය.

එලෙස දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වේ.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ප්‍රකාශ කලේය

මීට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බව ඔහු කියා සිටියේය.

මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එලෙස උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා පවසන ලදී.

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ  ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවය .

Continue Reading

පුවත්

මාලිමා රජයක් යටතේ ගුරු වෘත්තීයට නිසි තැන

Published

on

By

තම රජයක් යටතේ ගුරු වෘත්තීය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා (27) මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අනුර දිසානායක මහතා,

“මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක වෙලාවක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබාගෙනයි මේ දිස්ත්‍රික් ගුරු සමුළුව පවත්වන්නේ. ගුරුවරුන් වන ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම අපේ රටට හොඳ මානව සම්පතක් නිර්මාණය කරන එකයි. දැනුමෙන් පිරුණු, මානවවාදයෙන් පිරුණු අලුත් මානව සම්පතක් අපි නිර්මාණය කරන්න ඕනෑ. අපේ ගුරුවරුන්ට තෘප්තිමත්භාවයක් නැහැ. ඔවුන්ට ලැබෙන වැටුප, අනෙකුත් පහසුකම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබ මාස කිහිපයකට පෙර සාධාරණ වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක යෙදුණා. සාමාන්‍ය පවුලක් පවත්වාගෙන යන්න, දරුවන්ට උගන්වන්න, දෙමව්පියන්ට සලකන්න, අද ගුරුවරයෙකුට ලැබන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. වැටුප ප්‍රමාණවත් නැති වුණට, පහසුකම් නැති වුණාට ඔබට පැවරෙන වගකීම දියුණු මානවයෙක් හැදීමයි. ඔබගේ වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් බවට පත්වෙලා නැහැ. වරායේ, කස්ටම් එකේ, මහ බැංකුවේ රස්සාවකට යනවා තරම් ව්‍යාපාරයක්  කරනවා තරම් ගුරු වෘත්තිය ජනප්‍රිය නැහැ. ගුරු වෘත්තිය අඩු පහසුකම්, අඩු වැටුප් සහිත වෘත්තියක් බවට පත්වෙලා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුල් කොට තිබෙනවා ගුරු වෘත්තිය ලංකාවේ ප්‍රධාන වෘත්තීන් දහයෙන් එකක් බවට පත්කරනවා කියලා. ඒ ඇයි? අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු කරන්නේ නැතිව අපේ රටට අනාගතයක් නැහැ. අපි විශාල කාර්මීකරණ රාජ්‍යයක් නොවෙයි. අපේ රට ගල් අඟුරු, රත්තරන්, තෙල්, ගෑස් වැනි වාණිජ සම්පත් තිබෙන රාජ්‍යයක් නොවෙයි. ඒ නිසා  අපේ සම්පත මානව සම්පත බවට පත්කර ගත යුතුව තිබෙනවා. ඒ නිසා රටටත් ලෝකයටත් අවශ්‍ය වන දියුණු මානයෙක් අපි හදන්න ඕනෑ. එහිදී අධ්‍යාපනයට ලැබෙන කර්යභාරය අති විශාලයි.
අපේ ග්‍රාමීය ජනතාව මුහුණදී තිබෙන දුප්පත්භාවයෙන් ඔවුන් මුදාගන්නේ කොහොමද? තාත්තා ගොවියෙක්, ධීවරයෙක් වූ නිසාම පුතත් ගොවියෙක් හෝ ධීවරයෙක් වුණා. අද එම රැකියා ආදර්ශමත් වෘත්තීන් බවට පත්වෙලා නැහැ. ග්‍රාමීය දුප්පත්භාවයේ පදනම බවට පත්වෙලා තිබෙන්නේ හරිහමන් ආදායමක් සහිත වෘත්තියක් නොමැතිකම. එක පැත්තකින් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ආදර්ශමත් වෘත්තියක් බවට පත්කරන්න ඕනෑ. එම පවුල්වල දරුවන් නව වෘත්තීන්වලට යොමු කරන්න ඕනෑ. නව ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. ග්‍රාමීය තරුණ පරම්පරාවට නව රැකියා අවස්ථා හදන්නේ නැතිව, ආර්ථිකයේ නව දොරටු විවෘත කරන්නේ නැතිව දුප්පත්භාවයෙන් මුදා ගන්න බැහැ. ආර්ථිකයේ නව අවස්ථා හදනවා නම් එය ගොඩනැගිය හැකි වන්නේ අධ්‍යාපනයෙන්. 

අපේ සමාජය විශාල ලෙස අපරාධවලට ගොදුරු වෙලා. කුඩු වැනි මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා. පසුගිය කාලයේ රිමාන්ඞ් බන්ධනාගාර ගත වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් ඉගෙන ගත් අය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන්ගෙන් 70%කට වැඩිය දහයේ පන්තියට පහළින් අධ්‍යාපනය ලැබූ අය. ඒ කියන්නේ අපරාධවලටයි, මත්ද්‍රව්‍යවලටයි ඇබ්බැහිවීමයි අධ්‍යාපනයයි අතර සම්බන්ධතාවයක් තිබෙනවා. යහපත් පුරවැසියෙක් ගොඩනඟන්න අධ්‍යාපනයත් ප්‍රධාන වැඩක්. දරුවෝ අධ්‍යාපනයට යොමු වුවහොත් අපරාධවලට, මත්ද්‍රව්‍යවලට, යොමු වීම අඩුවෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනැගීමේදී අධ්‍යාපනය ඉතාමත් වැදගත්. ජාතිවාදයට ගොදුරු වී තිබෙන සමාජය ඉන් ගොඩගැනීමේදී අධ්‍යාපනයට විශාල හිමිකමක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන් අලුත් දැනුම නිර්මාණය වෙනවා. තාක්ෂණයේ මහා පිමි ගන්නවා. තාක්ෂණය හරහා මාලු සම්පත ඉන්න දිශාව ධීවරයාට ලැබෙන පණිවිඩය අනුව ධීවරයා මුහුදු යනවා. ඒ තරමට තාක්ෂණය දියුණුවී තිබෙනවා. අපේ රට ඉදිරියට ගෙනයාමට නම් තාක්ෂණයේ, විද්‍යාවේ විශාල ජයග්‍රහණයන් අත්පත් කර ගන්න ඕනෑ. ඒවා අත්පත්කර ගන්න අධ්‍යාපනය අවශ්‍යයි. ලංකාවේ ජනතාව දියුණු ජාතිකයක් බවට පත්කිරීමේදී, ආර්ථිකය ගොඩනැගීමේදී අධ්‍යාපනයට ප්‍රධාන වැඩකොටසක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ප්‍රධාන වැඩ කොටසක් වන්නේ අධ්‍යාපනය දියුණු කිරීම. අධ්‍යාපනය දියුණු කරන්න ඒ සඳහා පහසුකම් හදන්න ඕන. ගුරුවරුන්ට අවශ්‍ය වෘත්තියේ ගෞරවය, ගුරු වෘත්තිය ජනප්‍රිය වෘත්තියක් වෙන්න ඕනෑ. නව දැනුම ගුරුවරුන්ට ලැබෙන්න ඕනෑ. මේවැනි ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් කරන්න අපි ලැහැස්තියි. අපේ රටේ උතුරේ, දකුණේ, නැගෙනහිර හැමදෙනාම වෙනසක් බලාපොරොත්තු වෙනවා. වෙනසක අවශ්‍යතාවය වෙනුවෙන් සෑම කෙනෙක් තුළම උද්යෝගයක්, උද්ඝෝෂණයක් තිබෙනවා. ඒ වෙනස ඇති කිරීම සඳහා තීරණාත්මක ජනාධිපතිවරණයක් ඒමට නියමිතව තිබෙනවා. මේ වෙනස ඇති කළ හැකි වන්නේ කාටද? 

රනිල් වික්‍රමසිංහ 1977 සිට මේ දක්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නායකයෙක්. ඒ කියන්නේ පැරණි අය. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳිමින්, අධ්‍යාපන ඇමති, විදේශ ඇමති, තරුණ ඇමති, අගමැති, ආර්ථික ඇමති, මුදල් ඇමති, ජනාධිපති ධුර දරා තිබෙනවා. වෙනසක් ඇති කළාද? අද වෙනසක් වෙනුවෙන් එකතු වෙන්නේ කවුද? පොහොට්ටුව නිල වශයෙන් රනිල්ට සහාය දෙන්න ප්‍රකාශයක් කර නැහැ. නමුත් පොහොට්ටුවේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධනාගාර ඇමති වෙලා ඉන්න කාලේ රෑ බන්ධනාගාරයට පැනලා, සිරකරුවන් පෙළ ගස්වලා, තරුණයන්ගේ ඔලුවට පිස්තෝලෙ තිබ්බ රොහාන් රත්වත්තේ රනිල්ට සහාය දෙන්න ඉදිරිපත් වී තිබෙනවා. කප්පම් අරගෙන, මහාධිකරණයේ වැරදිකරුවෙක් වෙලා අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු යාළුවා ප්‍රසන්න රණවීර, මීගමුවේ නිමල් ලංසා, මඩකලපුවේ පිල්ලෙයාන් රනිල්ට සහාය දෙන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. වෙනස් කරන්න ඉස්සෙල්ලාම වෙනස් නායකත්වයක්, වෙනස් පිරිසක් ඕනෑ. දශක ගණනාවක් අපේ රට පාලනය කරපු අවුරුදු දහය පහළොව ඇමතිකම් දරපු, පැරණි, අසර්ථක ඒ ඔක්කෝම එකතු වෙලා වෙනසක් වෙනුවෙන් ඡන්දේ ඉල්ලනවා. ජනතාවගේ අපේක්ෂාව වෙනසක්, ඒ වුණාට රනිල්ගෙන් ඒ වෙනස දෙන්න බැහැ. 

සජිත් පේමදාසට පුළුවන්ද වෙනසක් කරන්න? එයාට ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න තිබෙන එකම සුදුසුකම තාත්තා ජනාධිපති වීම පමණයි. සජිත් ගැන එයාගෙ සභාපති සරත් ෆොන්සේකා කතා කරනවා. එයා ගැන දැන ගන්න ඒ ඇති. මේ රටේ වෙනසක් කරන්න තෝරා ගන්න තිබෙන පාර ජාතික ජන බලවේගයේ අපි නියෝජනය කරන පාර පමණයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා. වැටුප් වැඩිකර ගැනීමට දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කරන්න ආණ්ඩුව සහ වෘත්තිය සමිති අතර එකඟතාවයකට ආවා. අයවැය ලේඛනයට යෝජනාව ඇතුල් කළා. පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාවය ඉටු කරන්න කියල ගුරුවරු  ඉල්ලන්නේ. ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් වෙන්නොකර පරිපූරක ඇස්තමේන්තුවකින් කෝටි 875ක් වෙන්කරනවා. රනිල් වික්‍රමසිංහට අයවැය ලේඛනයෙන් අවුරුද්දකට වෙන්කළ සල්ලි මාස හතරකින් ඉවර කළා. මන්ත්‍රීවරුන්ට ඡන්ද කරන්න කෝටි 120ක් දෙනවා, අයවැයෙන් වෙන් නොකළ සල්ලි. හැන්ද තියෙන්නේ ඒගොල්ලන් ගාව. ඒ හැන්දෙන් එයාලට බෙදා ගන්නවා. ගුරුවරුන්ට අයවැයෙන් වෙන් කළ සල්ලි දෙන්නේ නැහැ. ගුරුවරු සාධාරණ උද්ඝෝෂණයක් කළා. ලිව්වා. සාකච්ඡා කළා. රනිල්ගේ උත්තරය වුණේ ජල ප්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර. එයාට ඒවා කළ හැක්කේ එයා ජනාධිපති නිසා. රනිල් ආවේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලු අරගෙන. ඔබ යන්නේ මොකක් අරගෙනද? ඡන්ද කාඞ් එකයි, හැඳුනුම්පතයි අරගෙන. මේ ගනුදෙනුව බේරා ගන්නම ඕනෑ. මේ රටේ ගුරු පරපුර රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කිරීම සඳහා ඉදිරියට එනවා, වැඩ කරනවා, ඡන්දේ දෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. 
අපි කරන්න ඕන වෙනස මොකක්ද? අපේ රටේ ව්‍යසනයක් වෙලා තිබෙනවා ජාතිවාදය. දේශපාලනය සම්පූර්ණයෙන්ම ජාතිවාදය මත, පදනම් වෙලා තිබෙන්නේ.  එකිනෙකාට එරෙහි දේශපාලනයක්. 2019 ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තිබෙන්නේ මුස්ලිම් ජනයාට එරෙහි දේශපාලනයක් මත. ඒ දේශපාලනය වෙනස් කරන්න ඕනෑ. ජාතිය සමගි කිරීමේ දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ඇති කරන වෙනස තමයි, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගි කරන දේශපාලනයක් කිරීම. 

අපේ සියලු කර්මාන්ත ශාලා විකුණුවා. මේ විකුණන දේශපාලනය අවුරුදු 50කට වැඩියි. විකුණන දේශපාලනයක් නොවෙයි ඕන. ඒවා රැකබලාගෙන අලුත් තාක්ෂණය ගෙනත් නිෂ්පාදනය වැඩිකරන අලුත් දේශපාලනයක් ඕනෑ.  මඩකලපුවට අවශ්‍ය මොන දේශපාලනයක්ද. වාලච්චේන කඩදාසි කම්හලට පණ පොවලා අලුත් තාක්ෂණය ඇති කරලා, තරුණ පරම්පරාවට රැකියා ඇති කරලා රටේ ආර්ථිකය දියුණු කරන්න ඕනෑ කියලා අපි යෝජනා කරනවා. ජාතික ජන බලවේගයේ අපි හදන ආර්ථිකය ඒක තමයි වෙනස. ඒ ගොල්ලන්ගේ දේශපාලනය දූෂිතයන් රකින දේශපාලනය. ජාතික ජන බලවේගයේ දේශපාලනය දූෂිතයන්ට දඬුවම් දෙන, සොරකම් කරන ලද ධනය පවරා ගන්න දේශපාලනය. දේශපාලනය කියන්නේ පුරවැසියන්ට, නිදහසේ, තමන්ගේ අදහස් කියන්න, නිදහසේ ක්‍රියාකාරිත්වයේ යෙදෙන්න පුළුවන්කම තියෙන්න ඕන පාලනයක්. 

මඩකලපුවේ ජනතාව බය කරන දේශපාලනයක් තියෙනවා. පුරවැසියන්ට අයිතියක් තියෙනවා තමන් කැමති දේශපාලයක යෙදෙන්න. ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්න. හැබැයි අද පිල්ලෙයාන්ට බයවෙලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සියලු අතුරු හමුදා නිරායුධ කරනවා. එක කණ්ඩායමකට නීති විරෝධී ලෙස අවි දරාගෙන, රාජ්‍ය අනුග්‍රහය සහිතව දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙද? වැඩ කිරීම ඔබගේ අයිතිය. ඒක කිසිවෙකුට යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. අතුරු හමුදා නිරායුධ නොකර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන්න බැහැ. 

පසුගිය කාලයේ අපේ රටේ විශාල ඝාතන ප්‍රමාණයක් සිදුවුණා. පාස්කු ප්‍රහාරයක් සිදුවුණා. ඒව ගැන විමර්ශනය කරගෙන යනකොට අතුරු හමුදා කල්ලි ගැන තොරතුරු එළියට එනවා. නිල හමුදාවන් අතේ පමණයි ආයුද තිබිය යුතු වන්නේ. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගය. අනෙක් හැම දෙනාම ඒගොල්ලන්ව ආරක්ෂා කරනවා වගේම පක්ෂයේ ප්‍රධානීන් බවට පත්කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපි පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් ඇති කරනවා. දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව පොදු ප්‍රශ්නවලට මුහුණ දෙනවා වගේම ඔවුන්ට අනන්‍යවූ ප්‍රශ්නත් තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් රජයත් සමග ගනුදෙනු කරන්න තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතියට ගරු කරමින් ආරක්ෂා කරමින් අපි ඉදිරියට ගෙන යනවා. ඔබගේ ආගම ඇදහීමට අවශ්‍යතාවය අපි හදනවා. ඒක තමයි අපි  ඇති කරන වෙනස. දෙමළ ජනතාව කල්පනා කරන්නේ මේ ආණ්ඩු පාලනයෙන් තමන් පිටස්තර වූවන් ලෙස. ආණ්ඩුව කියන්නේ සිංහලයාගේ, කොළඹ තිබෙන ආණ්ඩුවක් ලෙස ඔවුන් සිතනවා. ඒක අපි මුළුමනින්ම වෙනස් කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ නියෝජනය සහිත ආණ්ඩුවක්. උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනාගේ කැමැත්තෙන් හැදෙන ආණ්ඩුවක්. දකුණේ දේශපාලනයේ ජාතික ජන බලවේගය සමග හැප්පෙන්න කිසිදු දේශපාලනයක් නැහැ. දකුණ දිනන්නේ අපි. සිංහල,දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ එහෙම ආණ්ඩුකට පමණයි. එහෙම ආණ්ඩුවක් තමයි මෙතෙක් හැදුණු ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් වෙන්නේ. එහෙම ආණ්ඩුවක් අපි හදමු. ඔබ ඉතා හොඳින් මේ පණිවිඩය ගෙන යන්න. ශක්තිමත් ජයග්‍රහණයන් ජාතික ජන බලවේගයට ලබාදෙන්න මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් වැඩ කරමු.”

Continue Reading

ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් අවසන් සටන අද

Published

on

By

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්‍රියේදී පැවැත්වේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින අවසන් මහා තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.

අවසන් මහා තරඟයට  ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින්නේ මෙවර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අපරාජිත කණ්ඩායම් ලෙස වීමද විශේෂත්වයකි.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයට ඉන්දියාව මෙවර එක් වන්නේ තුන් වන වරටය.

ඒ අනුව 2007 වසරේදී පකිස්තානයට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් විය.

කෙසේවෙතත් 2014 වසරේදී ඉන්දියාව පරදා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.

දකුණු අප්‍රිකාව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට අද ක්‍රීඩා කරන්නේ පළමුවරට වීමද විශේෂත්වයකි.  

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved