පුවත්

සිවාජිලිංගම් වෛද්‍ය ප්‍රතිකාර කරගත නොහැකිව අසරණ වෙලා

Published

on

දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන එම්.කේ සිවාජිලිංගම් ඉන්දියාවේදී හෘදයාබාදයකට හා තවත් රෝග කිහිපයකින් පීඩාවට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී කිසිදු හව් හරණක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවට වාර්තා වේ.

චෙන්නායි විජයි රෝහලේ දින 16 ක කාලයක් ප්‍රතිකාර ලැබ සිටි ඔහුට ශ්‍රීලංකා මුදලින් ලක්ෂ දාහතරක බිල්පතක් සහ දෛනිකව තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් විසි තුන්දහසක මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර මුදල් නොමැතිව ඔහු දැඩි පීඩාවකට ලක්ව ඇතැයි පැවසේ.

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි එම්.කේ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා පසුගියදා හෘදයාබාදයකට ලක්වීමෙන් චෙන්නායි, විජයි රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

පසුව ඔහුට දියවැඩියාව සහ වකුගඩු රෝගය නිසා ඇතිවු සංකූලතා මත තවත් මාසයක කාලයක් ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට නිර්දේශ කර ඇත.

සෞඛ්‍ය වියදම් සඳහා මුදල් තම පවුලේ ඥාතින් විසින් හැකි පරිදි ලබාදුන්නත් ඒ මුදල් ප්‍රමාණවත් වී නැතැයි පැවසේ.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාම වැටුප ඇපයට තබමින් මෙරට බැංකුවකින් මුදල් ණයක් ලබාගැනීමට අයදුම් කර ඇතත් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප වී ඇත.

මුදල් නොමැති හෙයින් ඉන්දියාවේ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට ගියත් ඔහු ඉන්දිය පුරවැසියෙකු නොවන නිසා එම උත්සහායද ප්‍රතික්ෂේප වී ඇත.

මේ තත්වය මැද සිවාජිලිංගම් මන්ත්‍රිවරයා චෙන්නායිහි සිටින සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන අතර මන්ත්‍රිවරයාගේ ඥාතීන් කියා සිටින්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැනත්, ජාතික ගැටලුව ගැනත් නොබියව හඬ නගමින් උතුරේ බොහෝ තරුණ තරුණියන්ට විදේශගතවීමට පවා උපකාර කරමින් දෙමළ ඩයස්පෝරා සංවිධාන හා සහයෝගයෙන් වැඩ කරමින් කටයුතු කළ සිවාජිලිංගම් මන්ත්‍රිවරයා ගැන කිසිවකුත් හැරී නොබලන බවය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version