පුවත්

සිසුවාට පිස්තෝලය පත්තු කළ 55 හැවිරිදි SI රිමාන්ඩ්

Published

on

මාතර, තිහගොඩදී දරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරග කිරීමට මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 15 හැවිදිරි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහු ඊයේ (28) රාත්‍රියේ ශල්‍යකර්මයක යොමුකර ඇති බවත් ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මාතර, තිහගොඩ, මිදෙල්ලවල අතුරු මාර්ගයකදී ඊයේ පස්වරු 4.30 ට පමණ මෙම වෙඩි වැදීම සිදුව ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ සිසුවා ඇතුළු සිසුන් 6 දෙනෙකු ත්‍රීරෝද රථයකින් මොණර පිහාටු එකතු කිරීම සඳහා ගොස් තිබුණේ විහාරස්ථානයේ කඨින චීවර පූජා පෙරහැරට සහභාගී වීම සඳහායි.

එම අවස්ථාවේදී 15 හැවිරිදි හරේෂ් හංසක දේශාන්ත සිසුවාට වෙඩි වැදී ඇත.

මෙම සිදුවීමට විරෝධය පල කරමින් ඊයේ(28) රාත්‍රියේ ප්‍රදේශවාසීන් තිහගොඩ පොලිසියට පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය .

එම ස්ථානයට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ද පැමිණි‌යේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලයේ නිලධාරීන් පැමිණ එහි ස්ථානීය පරීක්ෂණක් සිදුකර සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු කළේ ය.

Trending

Exit mobile version