Connect with us

පුවත්

සීනි බදු වංචාවෙන් සිදුවූ පාඩුව අයකර ගන්න ගත් පියවර ගැන CoPF අසයි

Published

on

පසුගිය සමයේ සිදුවූ සීනි බදු වංචාවෙන් මෙරටට සිදු වූ පාඩුව අයකර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම පිළිබඳව කමිටුව සිය අප්‍රසාදය පළ කළේය.

මෙම කරුණ මතු වූයේ පසුගියදා (08) පාර්ලිමේන්තුවේ දී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීය. එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එදින කාරක සභාව රැස්විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එහි ප්‍රගතිය පිළිබඳව තමන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යාවත්කාලීන කරමින් සිටින බවත්, නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බැවින් අදාළ තීරණයෙන් පසුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.

අනතුරුව කාරක සභාව විමසා සිටියේ අදාළ පාර්ශ්ව අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නේ නම් පියවරක් ගත හැකිද යන්නයි. ඒ අනුව හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් කමිටුව දැනුවත් කරන ලෙස කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

තිරිඟු පිටි සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ මීට පෙර පළ වූ රෙගුලාසිවලට අදාළව ඉදිරිපත් කර ඇති ගැටළු සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යාංශය විසිනන් කමිටුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ද කමිටුව අවධානය යොමු කළේය.

තවද, 2023.07.21 දිනැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් කරන ලද 2023.07.18 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අංක 2336/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඇති රෙගුලාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණි. 

මෙහිදී තාවකාලික සභාපති ගරු පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ තිරිඟු පිටි ආනයනය සඳහා බලපත්‍රය නිකුත් කිරීම තිරිඟු පිටි ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කොට ඇති සමාගම්වලට පමණක් සීමා කිරීම හේතුවෙන් වර්තමානයේදී තිරිඟු පිටි සම්බන්ධ ද්වීඅධිකාරයක් නිර්මාණය වී අති බවයි. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද  ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය පිළිබඳවද කමිටුව මෙහිදී විමසා සිටියේය.

ඒ අනුව, 2022 අංක 43 දරන විසර්ජන පනතේ රුපියල් බිලියන 4,979 වූ ණය ගැනීමේ සීමාව රු. බිලියන 13,979 දක්වා වැඩි කිරීම මගින් රු. බිලියන 9,000 ක නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව  සහ ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් ලෙස රු. බිලියන 4,222.23  සිට රු. බිලියන 13,222.23  ක් වූ වියදම්  සීමාව වැඩි කිරීම සිදුවේ.

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading

පුවත්

නියාමනයට පෙර ප්‍රවාහන සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Published

on

By

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් සිසුන් ප්‍රවාහන රථ නියාමනයට පෙර පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන සංගම් රජයෙන් ඉල්ලිමක් කර තිබේ.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ රජය විසින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවය.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය පියවර ගන්නා අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා සියළු බලතල පැවරීමට පියවර ගන්නා බවද ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබිණි.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වු අතර පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන මාදිලි රැසක් නියාමනයට අවශ්‍ය ගැසට් පත්‍රයද නිකුත් කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා මේ  සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“නියාමනයට කලින් බොහෝ දේවල් තියනවා කරන්න. හැම වතාවෙම මේක කරන්න හැදුවා. ඒත් අපිට කිසිදෙයක් වෙන්නෙ නැතුව රජයට ආදායමක් ලබා ගන්න දෙයක් විතරයි වෙන්නෙ. අපි ඒ දේවල්වලට කැමති නෑ. අපි කියන්නෙ මේක නියාමනය කරනව නම් අපේ ප්‍රශ්න සාධාරණව අහලා ඒවට අවශ්‍ය දේවල් කරලා බලලා අපිත් එක්ක කතා කරලා ඉවරවෙලා මේ දේවල් කරොත් හොදයි කියලා හිතනවා.නියාමනයෙන් හොඳ දෙයක් වෙන්න ඕනා. නියාමනය කියලා මුදලක් අරගෙන අපිට කිසිදෙයක් වෙන්නෙ නැත්තම් වැඩක් නැහැ. හොද විදිහට කරනවා නම් අපි බලනවා. එහෙම නැත්තම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved