Connect with us

පුවත්

සීනි වංචාවට සම්බන්ධ සමාගම්වලින් තවමත් අදාල මුදල් අයකරන් නෑ

Published

on

මෙහිදී  විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි, සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන සමාගම්වලින් නියමිත බදු අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳව රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව පසුගියදා දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2020 ඔක්තෝම්බර් 13 දිනැති 2197/12 ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 99.5% කින් අඩු කර තිබියදීත් අදාළ බලධාරීන් විසින් ක්‍රියාමාර්ග නොගෙනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණි. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන්   ඇතැම් විශාල සමාගම්වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම වැලැක්වීමට වගවීමේ කිසිදු පියවරක් ක්‍රියාත්මක කර නොමැති බවද කාරක සභාව අවධාරණය  කළේය.

මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් එම අදාළ සමාගම්වලින් බදු එකතු කිරීමේ ප්‍රමාණයන්  පිළිබඳව  සතියක් ඇතුළත  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාරක සභාව නියෝග කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කල කාරක සභාව  සීනි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු: 0.25/Kg සිට රු: 50/Kg දක්වා ඉහළ නැංවීම අරමුණු කරගත් බදු ප්‍රතිපත්තිය නැවත සංශෝදනය කිරීම පිළිබඳව කමිටුව සිය අවධානය යොමු කළේය.

මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30  ක් අය කරගත්  මේ හා සම්බන්ද සමාගම්වලට වගකීමෙන්  තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම  පිළිබඳව මුදල් අමාත්‍යාංශය කාරක සභාවේ දැඩි විවේචනයට ලක්විය.

මේ අතර  බෙදාහරින්නන්  විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම පිළිබඳ ගැටළු විමසීම සඳහා කාරක සභාව හමුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ද කැඳවා තිබුණු අතර, ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීම් 342 උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බව එම නිලධාරීහු කාරක සභාව හමුවේ  පැවසූහ.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ ආනයනික මිල වැනි සාධක සලකා බලා උපරිම සිල්ලර මිලක් පැනවීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය. තවද, තොග බෙදාහරින්නන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සහ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වීම සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙසත් කාරක සභාව පාරිභෝගික කටයුතු අධිකාරිය වෙතින් ඉල්ලා සිටියේය.

මීට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ  අන්තර්ගතය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ මූලික පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ සමාගම් සඳහා අරමුදල් සංචලනය සහ විදේශ විනිමය ගනුදෙනු නියාමනය කිරීම සඳහා නිර්මාණය කර ඇති විධිවිධාන මෙම නියෝගයෙන් දක්වා ඇත.

නියෝගයේ දක්වා ඇති පරිදි සංක්‍රමණ දීමනාව ඇමෙරිකානු ඩොලර්  50,000 ක් ලෙස පවතින අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා  ඇමෙරිකානු ඩොලර් 20,000  දීමනාවක් ඇත. ශ්‍රී ලාංකික පුද්ගලයින්ට ඔවුන්ගේම විදේශීය සමාගම්වල කොටස් විකල්ප මිලදී ගැනීමට ඉඩ සලසන විධිවිධාන ඇතුළුව, පෙර ගැසට් පත්‍රයේ සංශෝධන  මහ බැංකුවේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුම් දෙන ලදී. මීට අමතරව, ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය සඳහා  ඇමෙරිකානු ඩොලර් 200,000  සහ ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා  ඇමෙරිකානු ඩොලර් 100,000 ක  ආපසු ගැනීමට පුද්ගලයන්ට දැන් අවසර ඇත.

මෙහිදී කාරක සභා සභාපතිවරයා එවැනි අඩු සංක්‍රමණ දීමනාවක් පවත්වාගෙනයාමේ ශක්‍යතාව පිළිබඳව කනස්සල්ල පළ කළේය. මෙම සීමා කිරීම් හේතුවෙන් පුද්ගලයින් හවාලා සහ ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency) වැනි නිල නොවන මාර්ගයන් වෙත යොමුවීමේ ව්‍යාප්තිය පිළිබඳව ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. තවද, Binance වැනි විවිධ වේදිකා හරහා ශ්‍රී ලාංකිකයන් තම රුපියල් USDT ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) බවට පරිවර්තනය කර පසුව විදේශයන්හි මුදල් මාරු කිරීම හෝ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන අවස්ථා පිළිබඳව නිලධාරීන් දැනුවත් දැයි සභාපතිවරයා විමසා සිටියේය. විනිමය-වෙළඳාම කරන ලද අරමුදල්වල අනුමැතිය ඇතිව, එක්සත් ජනපද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින්  ක්‍රිප්ටෝ මුදල්  (cryptocurrency)  මෑතකදී  පිළිගත් ආයෝජන වත්කම් ලෙස අනුමතකර ඇති බව  කාරක සභාව පවසන ලදී.

මේ පිළිබඳ  දනුවත් වීමක් නොමැති බවක් ඒ  සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කරන බව  නිලධාරීහු සභාපතිවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් පැවසුහ. එමෙන්ම විධිමත් මාධ්‍යන්ගෙන්  තොරව රුපියල්, ඩොලර්වලට හුවමාරු කිරීමට අවසර නොමැති බවත්, මුදල් හුවමාරුව සහ ආයෝජනය සඳහා නිල නොවන මාර්ග අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කරන බවත් එම නිලධාරීහු  වැඩි දුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.

මේ අවස්ථව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි, දුමින්ද දිසානායක, මධුර විතානගේ, සුමිත් උඩුකුඹුර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය  නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved