මියන්මාරයේ හිටපු අගමැතිනී අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබේ.
මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුන අතර අවසන් අපරාධ චෝදනා 5 සඳහා සුකී වරදකාරිය කරමින් මෙසේ වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින් හමුදා අධිකරණය වසර 26 ක සිර දඬුවමක් ලබා දී තිබුණි.
නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ අතර නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීමද හමුදා අධිකරණය තහනම් කරන ලදි.කෙසේ වෙතත් තමන්ට එල්ල වූ අපරාධ චෝදනා සියල්ලටම නිවැරදිකාරිය බව අවුන් සාන් සුකී පවසා ඇත.