පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක “සුරක්‍ෂා” නෞකාව යොදවා ඉකුත් ජූලි 07 වැනිදා දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.
පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකල තොරතුරු විශ්ලේෂණයකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක “සුරක්‍ෂා” නෞකාව යොදවා සිදුකල මෙම මෙහෙයුමේදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර ඇත.
එම පරීක්ෂාවේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක් (01), විශාල ඉබ්බෙක් (01) සහ ගිරවුන් 03 ක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු (05) මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්‍රාව 2024 ජුලි මස 08 වන දින රාත්‍රියේ ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යාත්‍රාවේ රැගෙන ආ සතුන් පරීක්‍ෂා කරන ලද අතර, එම සතුන් ශ්‍රීලංකාවට ආවේණික නොවන සතුන් බවට හඳුනා ගෙන ඇත.
මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සතුන් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාවේ සැකකරුවන් අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.
අත්අඩංගුවට යාත්‍රාවෙන් හමුවූ සතුන්, බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.
තවද, මෙම සතුන් අනවසරයෙන් විදේශයක සිට මෙරටට රැගෙන ඒමට හෝ වෙනත් රටකට රැගෙන යාමට මෙලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල බවට විශ්වාස කෙරෙන අතර, මෙරට පරිසර පද්ධතියට හානි ගෙන දෙන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදුකරනු ලබයි.