Connect with us

පුවත්

සුරා බද්ද ඉහළ දැමීමේ යෝජනාවට COPF අනුමැතිය

Published

on


සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය

ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවේ (52 වන අධිකාරය වූ ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක්, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග සලකා බැලීම සිදුවිය.

ඒ අනුව 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය හා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය කාරක සභාවේදී සලකා බැලිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරීහු 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියෝගය මගින් මෝටර් රථ, දුම්වැටි හා පැනි බීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත්ව සියලුම අයිතම මත වන නිෂ්පාදන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව පැවසූහ. එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය යටතේ මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ද, 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා නිශ්චිත දත්ත නොමැතිව මෙලෙස දුම්වැටි සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දැමීම අනුමත කළ නොහැකි බවත් දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම ගත් පියවරයන් සාධාරණිකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙම දුම්වැටි වල බදු අදායම් පිළිබඳව සිදුකළ අධ්‍යයනය වලින් පෙන්නුම් කර ඇත්තේ මෙම ගණනය කිරීම් ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු බවත් අදාළ නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බවත් පැසුවේය. ඒ අනුව මෙම බදු පැනවීම ඔස්සේ රජයට ලාභ ලබෙන ආකාරය පිළිබඳව කරක සභාවට සහතික කිරීම වැදගත් බවත් සභාපතිවරයා අවධාරණය කළේය. එබැවින් මීලග කාරක සභාව රැස්වන දිනයේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ මෙම 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමය නැවත කාරක සභාව තුළ සලකා බැලීමට සභාපතිවරයා තීරණය කළේය.

එමෙන්ම (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය මගින් මත්පැන් වර්ග මත වූ සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳව යෝජනාව කරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් ගරු මන්ත්‍රීවරයන් මෙලෙස බදු වැඩි කිරීම ඔස්සේ පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය සඳහා යොමුවීමට පවතින අවස්ථාව පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඊට පිළිතුරු දුන් නිලධාරීහු එම නීතිවිරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බව පැවසූහ.එමෙන්ම මේ වසරේ ගතවූ මාස දෙක තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 22% හා අදායම 23% වර්ධනය වී ඇති බව පැවසුහ. තවද නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව පැවසුවේය.

තවද 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග කාරක සභාවේ දී සලකා බලා අනුමත කරන ලදී. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි (IRCSL) වැඩි වූ වියදම් සපුරාලීම සඳහා වාර්ෂික ගාස්තුව රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරිකයෙන් 0.125% සිට 0.2% දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

මෙහිදී සභාපතිවරයා යම් යම් අවස්ථාවල ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් නිසියාකාරව නියාමන කටයුතු සිදුනොවීම පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. MBSL මුල්‍ය ආයතනයේ ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන්, පවතින නීතිය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමීවීම පිළිබඳව සභාපතිවරයා සිය අප්‍රසාදය පළකළේය. එම ආයතනය වෙනුවෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසටද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම රක්ෂණය මෙරට කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් සැලසුම් ඇතුළත්, ඉදිරි වැඩ පිළිවෙල සකස් කර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව මෙහිදී  අවධාරණය කළේය.

තවද තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ මුදල් ලබා ගැනීමේදී පවතින සංකීර්ණ බවද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී යම් අනතුරකදී තෙවන පාර්ශවීය රක්ෂණය ලබා ගත් පිරිස් සඳහා එම රක්ෂණ මුදල් පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට අවශ්‍ය සරල නීති සකස් කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අවධානයට යොමු කරන ලදී.

එමෙන්ම රක්ෂණ වල තැන්පත් කර ඇති මුදල්, බැංකු මගින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද සභාපතිවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය. ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාගෙන අදාළ කර්මාන්ත ආයතන හා සාකච්ඡා කර රෙගුලාසි මාලාවක් සකස් කර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබාදුන්නේය.

මෙදින කාරක සභාව තුල කැසිනෝ බදු පිළිබදවද සාකච්ඡා විය. එහි දී භෞතිකව පවතින කැසිනෝ ශාලා වලින් බදු අයකර ගත්තද අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක විශාල කැසිනෝ ව්‍යාපාර සංඛ්‍යාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව එම අන්තර්ජාල කැසිනෝ හරහා කිසිදු බදු මුදලක් අයකර ගැනීමක් සිදුනොවීම පිළිබඳව නිලධාරීන්ගේ අවධානයට යොමු කරමින් මෙම තත්ත්වය පාලනය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය. ඒ වෙනුවෙන් කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා මෙම කාරක සභාව වසර ගණනක සිට උත්සාහ කරන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහා වූ පනත් කෙටුම්පත් හැකි ඉක්මනින් අවසන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය

මේ රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම, චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන, රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, (නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

පුවත්

නම් නැති සභිකයින් 223ක්

Published

on

By

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවය.

කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Continue Reading

පුවත්

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක්

Published

on

By

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ, මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි.

එමෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක් මතුවීම නිසා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරවල යම් සීමා මතුවී තිබෙන බවත් හෙතෙම පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිළි කරන වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. 

පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා.

රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ.

ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාර යම් සීමාවන් මතුවෙලා තියෙනවා” 

Continue Reading

පුවත්

ශ්‍රීපාදයට යන පාරක් දින 10කට වැසේ

Published

on

By

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදිකිරිමට මෙලෙස වසා තැබේ.

ඒ අනුව, අද (14) සිට ජුනි මස 24දා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටියි.

අදාළ මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස නව පාලමක් ඉදිකිරීමට සිදුව ඇත.

එම පාලම වසර 04ක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පවතින බවත්, පවතින වර්ෂාවත් සමග එය සම්පූර්ණයෙන්ම කඩාවැටීමේ අවධානමක් තිබෙන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved