Connect with us

පුවත්

සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති 5ක්

Published

on

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 

ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමඟ යළි ඇරඹීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අපේ රට සියලුම භූ විෂමතාවලින් සමන්විත, දේශගුණික කලාපවලින්, ස්වභාවික සම්පත්වලින් බහුල සුන්දර දිවයිනක්. වටිනා ඛනිජ සම්පත්, ලෝකයේ ස්වභාවික අනතුරු අවම යහපත් ගුණාංග රැසක් රට තුළ තිබෙනවා.

අපේ රටේ වටිනාම සම්පතක් ලෙස ඉඩම් හැදින්විය හැකියි. ජනගහනය වැඩි වන විට එම වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. නගරාසන්න ප්‍රදේශ දෙස බැලීමේදීත් ඉඩම් වල වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය සතුව විශාල භූමි ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් ඉඩම් සමබන්ධ තොරතුරු ප්‍රමාණවත් තරම් නැහැ. මේ නිසා එම තොරතුරු ලබා ගැනීමටත් අමාත්‍යංශය ලෙස කටයුතු කරමින් පවතිනවා. 

නාගරික සංවර්ධන අධිකාරිය පවරා ගත් ඉඩම් ද තිබෙනවා. එහි ඇතැම් ව්‍යාපෘති රජය විසින් සිදුකර තිබෙනවා. නගර නිර්මාණ සැළසුම්කරණය සහ නගර පුළුල් කිරීම වැනි කටයුතු සිදු කර තිබෙනවා. ඒ වගේම දෙස් විදෙස් ආයෝජන සඳහා අවශ්‍ය ඉඩම් අප සතුව තිබෙනවා. ඕනෑම අයෙකුට රජය සතු ඉඩම් භාවිත කරමින් ආයෝජන අවස්ථා ලබාගත හැකියි. නාගරික සංවර්ධන අධිකාරිය ඩිජිටල්කරණය කිරීමෙන් පසු ඕනෑම අයෙකුට නාගරික සංවර්ධන අධිකාරිය හරහා එම ආයතනය සතු ඉඩම් මොනවාදැයි දැනගත හැකියි.

මෙහිදී අපි විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ අප සතු ඉඩම් මුදල් ඉපැයීම සඳහා යොදා ගැනීම සම්බන්ධවයි. උදාහරණයක් ලෙස මැකලම් පාරේ වටිනා ඉඩම පෙන්වා දෙන්න පුළුවන්.

තවද මහනුවර නගරය, බෝගම්බර සිරගෙදර, නුවරඑළිය ඇතුළු සෑම නගරවලම නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් තිබෙනවා. බෝගම්බර සිරගෙදර පිහිටි ඉඩම කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන අවස්ථා විවෘත කිරීමට ද සැලසුමක් තිබෙනවා.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිසි මූල්‍ය කළමනාකරණය නිසා  නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති යළි ඇරඹීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරනවා. එම කටයුතු 2024 වසර සඳහා වන නව අයවැය සමඟ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා.  ඒ වගේම 

ඇතැම් ව්‍යාපෘතිවල වංචා දූෂණ සිදුව තිබෙනවා. එම වැරදි නිවැරදි කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. 

ඒ වගේම සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති පහක්  ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රධානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.

ඒ සමග කොළඹ ගංවතුර පාලනයට පහත් බිම් සංවර්ධන අධිකාරිය විශාල වැඩකොටසක් කරනවා. කඩොලාන, වගුරු බිම් ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා.

ගංවතුර පාලනය වෙනුවෙන් ජනතාවගෙන් ලබාගත් ඇතැම් ඉඩම් විනාශ කර තිබෙනවා. ඇතැමුන්ට ඉඩම් පවරා ගැනීමේ දී ලබාදිය යුතු වන්දි පවා නිසි ලෙස ලබා දී නැහැ. අප එම තත්ත්වය වෙනස් කර කොළඹ නගරයේ ප්‍රධාන ඉඩම් ලබා ගන්නා විට විද්‍යාත්මක ක්‍රමයකට එම ඉඩම් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී අමාත්‍යාංශයක් ලෙස ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට අප සූදානම්. 

(ජනාධිපතිමාධ්‍යඅංශය)

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved