පුවත්

සෙන්ට් කන්ටේනරයක් පැන්නූ රේගුවේ 4කගේ වැඩතහනම් කරයි!

Published

on

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩතහනම් කළ නිලධාරීන් අතර සිටින බව පැවසේ.

අධ්‍යක්ෂවරියක් මේ වංචාව සම්බන්ධයෙන් කොටුවීම විශේෂ සිද්ධියක් වී තිබේ.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති බවත් එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බවද  පැවසේ.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බවත්, රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බවත් මේ වනවිට හෙළිව තිබේ.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසේ.

Trending

Exit mobile version