පුවත්

සෞඛ්‍යයේ V8 ලේකම්ලාට; සීතා තාම යන්නේ ජනපති කාර්යාල කාරයේ

Published

on

තමා රාජකාරි ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තාවකාලිකව ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කියයි.

එසේම තමන්ට වී එයිට් වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් නොකළ බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනිය ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජ්‍ය ඇමැතිවරියට රථවාහන තුනක් ලබා දිය යුතු වුවද මේවන විට ලබා දී ඇත්තේ කැබ් රථයක් පමණක් වන අතර මීට පෙර ලබා දී තිබූ මෝටර් රථය ද ධාවනයට නුසුදුසු බව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

සෞඛ්‍ය රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ මීට පෙර සිටි රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ වාහන කිසිවක් තමාට හෝ තම කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට භාවිත කිරීමට ලබා දී නොමැති බවය.

එහෙත් රාජ්‍ය ඇමැතිවරුන් භාවිත කළ වී එයිට් වර්ගයේ ජීප් රථ දෙක අතිරේක ලේකම්වරුන් දෙදෙනකු භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කරයි.

මේ වනවිට රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇති බැවින් ඉන් එක් ජීප් රථයක් රාජ්‍ය ඇමැතිවරියට ලබා දීමට සැලසුම්කර ඇති බවද ඔහු සඳහන් කරයි.

වී එයිට් ජීප් රථයක් ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි.

Trending

Exit mobile version