පුවත්

හක්ක පටස් එකට පයින් ගැසූ සිසුවා රෝහලේ

Published

on

මහනුවර අලදෙණිය ප්‍රදේශයෙදී හක්ක පටස් එකක් පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

මෙලෙස බරපතළ තුවාල සිදුව ඇත්තේ මහනුවර අලදෙණිය ප්‍රදේශයේ පදිංචි 15හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි.

පසුගිය දිනක පාසල නිමවී නිවසට යමින් සිටියදී මාර්ගය අසළ තිබූ බෝලයක් වැනි යමක් දැක එයට සිසුවා පයින් ගසා ඇත.

එහිදී එක්වරම එම හක්ක පටස් එක පිපිරීයාම හේතුවෙන් සිසුවාගේ පාදයට බරපතළ තුවාල සිදුව තිබේ.

මෙම සිදුවීමත් සමග ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ පොලීසිය විසින් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු හක්ක පටස් 9ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ක සහ 27ක තරුණයින් දෙදෙනෙකි. ඉන් එක් අයෙකු යුද හමුදාවෙන් පළා ආ අයෙකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

රතිඤ්ඤා කරල් වලින් ඉවත් කරන ලද වෙඩි බෙහෙත් උපයෝගි කර ගනිමින් ඉවතලන කුකුළු මස් කොටස් මිශ්‍ර කර බෝලයක් ලෙස ඔවුන් විසින් එම හක්ක පටස් සකස් කර ඇත. ප්‍රදේශයේ ඌරන් ගැවසෙන ස්ථානවලට තැබීම සඳහා ඔවුන් මෙලෙස හක්ක පටස් සකස්කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එලෙස තබා තිබූ හක්ක පටස් එකක් අධික වර්ෂාවත් සමග ගසාගෙන විත් මෙලෙස මාර්ගය අසල රැඳී තිබෙන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

අලදෙණිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

(අරුණ)

Trending

Exit mobile version