සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් යොමු කර ඇති මෙම එන්තරවාසියේ සඳහන් වෙන්නේ 2024 අගෝස්තු 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී, කාත්තන්කුඩිහි පිහිටි මැරයින් මහල් උත්සව ශාලාවේ පැවති රැස්වීමකදී රවුෆ් හකීම් මහතා විසින් අනුර දිසානායක මහතා සිදු කළ කතාවක් බව පවසමින් දමිළ භාෂාවෙන් අපහාසාත්මක, ව්‍යාජ, ද්වේෂසහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවය.
“අනුර කුමාර දිසානායක කියනවා සෑම මුස්ලිම් අම්මා කෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදීන් බිහිවෙනවා කියලා, ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා සෑම මුස්ලිම් අම්මාකෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදය වර්ධනය වෙනවා කියලා” යනුවෙන් රවුෆ් හකීම් මහතා අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් විකෘති කරමින් මෙහිදී ප්‍රකාශයක් සිදු කර ඇති බව එම එන්තරවාසියේ සඳහන්ය.
රවුෆ් හකීම් මහතාගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ රූපවාහිනී නාලික ඔස්සේ මෙන්ම ෆේස්බුක් වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින්ද ප්‍රචාරය වී ඇති බව නීතීඥ මංජුල බාලසූරිය මහතා එන්තරවාසිය යොමු කරමින් පෙන්වා දෙයි.
ඒ අනුව, සිය සේවාදායකයා වන අනුර කුමාර දිසානායක මහතාට මෙම ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර රුපියල් බිලියන 2ක (2,000,000,000) මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස එමඟින් රවුෆ් හකීම් මහතා වෙත දැනුම් දී තිබේ.