Connect with us

පුවත්

හදාගන්න ගත් දරුවා ඝාතනය කළ යුවළකට මරණ දඬුවම

Published

on

දරුකමට හදාවඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක ළමයෙකු වධ හිංසාවට ලක්කර මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු යුවළකට කොළඹ මහාධිකරණය අද (6) මරණීය දණ්ඩනය නියම කලේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙලෙස මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි යුවළකි.

හදාවඩා ගැනීම සඳහා ලබාගත් අවුරුදු දෙකක පිරිමි ළමයකු වූ මෙම දරුවා 2018 වසරේ මැයි මස 11වනදා හෝ ඊට ආසන්න දිනයක, මාලිගාවත්ත ප්‍රදේශයේදී වධ හිංසාවට ලක්කොට මරණය සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු සුජීව නිශ්ශංක මහතා කියා සිටියේ, විත්තිකරුවන්ට එරෙහිව එල්ලකර තිබෙන මිනීමැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවය.

තවදුරටත් තීන්දු ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා, සැකසහිත ලෙස මියගිය අවුරුදු දෙකක පමණ පිරිමි ළමයෙකුගේ මෘත ශරීරයක් පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් අදාළ නිවසට ගොස් ඒ පිළිබඳ විමර්ශන සිදුකර ඇති ආකාරය පොලිස් සාක්ෂිවලින් අනාවරණය වූ බව සඳහන් කලේය.

ඒ අනුව අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඒ පිළිබඳ සැකයක් ඇතිවීම නිසා මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් පොලිස් සාක්ෂිවලින් අනාවරණය වී තිබුණි.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම දරුවා දරුණු ලෙස වධ හිංසනයට භාජනය වී තිබූ ආකාරය වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබූ බවත් විනිසුරුවරයා පැවසුවේය.

මෙම දරුවාගේ දේහයේ තිබී තුවාල 90ක් පමණ නිරීක්ෂණය වී ඇති අතර ඒවා පිළිස්සුම් තුවාල මෙන්ම පහරදීම් හේතුවෙන් ඇතිවූ තුවාල බවටත් වෛද්‍ය සාක්ෂිවලින් නිගමනය කර තිබේ.

එමෙන්ම අදාළ දරුවාගේ වෘෂන කෝෂවලටද දැඩි ලෙස හානි සිදුවී තිබූ බවත් වෛද්‍ය සාක්ෂිවලින් අනාවරණය වී තිබුණි.

ඒ අනුව මෙම දරුවා කෲර වද හිංසනයට භාජනය වී ඇති අතර චේතනාන්විතවම ප්‍රචණ්ඩත්වයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බව වෛද්‍ය සාක්ෂිවලින් නිරීක්ෂණය වී තිබෙන බවත් විනිසුරුත්වරයා සඳහන් කළේය.

එමෙන්ම කාලයක් වධ හිංසනයට භාජනය වී පිළිස්සුම් වලින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දරුවාගේ මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන් විසින් මියගිය මෙම දරුවා කොළඹ ළමා රෝහල අසලටම රැගෙන ගොස් ඊට ඇතුළත් නොකට ආපසු හැරී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම බරපතළ සැකයකට තුඩුදෙන කරුණක් බවයි.

අදාළ දරුවා මෙම විත්තිකරුවන් භාරයේ සිටි බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් මතුවී නොමැති බවත් විනිසුරුවරයා අවධාරණය කලේය.

සියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී මියගිය දරුවා මෙම විත්තිකරුවන් භාරයේ ජීවත් වූ බව තහවුරු වී ඇති බැවින් ඉදිරිපත් වූ පර්වේෂණීය හා වෛද්‍ය සාක්ෂිවලට අනුව මෙම මරණයට විත්තිකරුවන් වගකිවයුතු බවත් විනිසුරුවරයා තීන්දු කර තිබේ.

ඒ අනුව අදාල විත්තිකරුවන් දෙදෙනා මිනීමැරීමේ චෝදනාවට වරදකරු කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් නිගමනය කර ඇත.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවන් කියා සිටියේ තමන් මෙම චෝදනාවවලට නිර්දෝෂී බවය.

තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් මෙම දරුවා හදාවඩා ගත්තේ තම කැමැත්තෙන් බවත් විත්තිකාරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කලේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

පුවත්

ටෙහෙරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගනියි

Published

on

By

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට කටයුතු කර ඇතැයි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, තානාපති කාර්ය මණ්ඩලය සමග එහි රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 08 දෙනෙකු ද ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු කර ඇති බවයි.

ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බවත්, ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

තෙල් හිඟයක අවදානමක් නෑ – නලින්ද

Published

on

By

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත්ය.

ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙසයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්

Published

on

By

සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා පිය නැඟීමේ අපේක්ෂාව ඇතිව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 පෙබරවාරි 18 දින නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 චක්‍රලේඛයට අනුගත වෙමින් “පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක්” ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කටයුතු යොදා ඇත.  

එසේ පිහිටවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණු ලෙස ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතිය වර්ධනය කිරීම, ආයතනයේ සියලූම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදය සකස් කිරීම, සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම යන කරුණු දැක්විය හැකිය. 

පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පත්කොට ඇති අතර සුපිළිපන්න නිලධාරියා ලෙස ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩබ්ලිව්.කේ.ඩී.සී. විතාන මහතා පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරන අතර, සෑම දෙපාර්තමේන්තුවක්ම නියෝජනය වන ආකාරයෙන් සහාය කාර්ය මණ්ඩලයක් ද පත්කොට ඇත. 

ඒ අනුව එම ඒකකයේ පළමු රැස්වීම 2025 ජූනි 06 දින එම ඒකකයේ ප්‍රධානී, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඒකකයේ ඉදිරි කටයුතු චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුව සිදු කළ යුතු ආකාරය එහිදී සාකච්ඡා කෙරිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved