පුවත්

හරක් කටා රැඳවුම් නියෝගවලින් මුදවනවාද? නැද්ද? තීන්දුව 15දා

Published

on

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 15 දා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (08) තීරණය කළේය.

මේ දෙවන රැඳවුම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් වන පක්ෂ විපක්ෂ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කරන ලදි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී. 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කළේය.

මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පෙත්සම්කරුට එරෙහිව නඩු විසි තුනක් විවිධ අධිකරණවල පවතින බව ඒ මහතා කීය. 

ඒ අතුරින් නඩු දෙකක් සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට තීරණය කර ඇති අතර, සෙසු නඩු මේ වන විටත් අධිකරණවල පැවැත්වෙන බව කී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම කරණු කිසිවක් මෙම පෙත්සම මගින් අනාවරණය කර නැති බව පැවසීය. 

එසේම ඔහු සුපිරිසිදු දෑතින් පැමිණ නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය. 

මෙම පෙත්සම්කරු බෝට්ටුවක් මගින් ඉන්දියාවට පැන ගොස් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කර ඩුබායි රාජ්‍යට ගොස් පෞද්ගලික ජෙට් යානාවකින් මැඩගස්කරයට පලා යෑමේදී එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ඒ මහතා කීය. 

ඔහු ගමන් ගත් පෞද්ගලික ජෙට් යානය එච්.එම්.කේ.එන්. බණ්ඩාර නමැත්තකුට අයත් බවත් ඔහු එල්.ටී.ටීය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වන අයෙකු බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවත් ඒ මහතා කීය. 

ඒ අනුව ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත ඔහුට අදාළ වන බවද ඒ මහතා කීය.

පෙත්සම්කරුට අදාළව රැඳවුම් නියෝග නිකුත් කළ රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස නම් කර නැති අතර පෙත්සම මගින් අත්‍යවශ්‍ය පාර්ශව වගඋත්තරකරුවන් ලෙස නම් කර නැති බව ඒ මහතා කීය. 

එසේම පෙත්සම්කරු මෙරටට රැගෙන ආ දිනයේ සිට මේ වන තෙක් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පෙත්සම් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණ පද්ධතිය අවභාවිත කිරීමට පෙත්සම්කරු උත්සාහ කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නේය. 

මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට නිලධාරීන්ට අවශ්‍ය බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් වුව හොත් එය ඊට බාධාවක් විය හැකි බව ඔහු සඳහන් කළේය. 

එබැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානී දයාරත්න මහතා සඳහන් කළේ පෙත්සම්කරුට අඳුරු අතීතයක් ඇති නමුත් නීතිය හමුවේ වරදකරුවකූ වන තෙක් ඔහු නිවැරදි කරුවකු ව බවය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී කුමන හෝ අවස්ථාවක තමා මරාදැමිය හැකි බවට සාධාරණ බියක් පෙත්සම්කරුට ඇති බව ඒ මහතා කීය. 

අදාළ රැඳවුම් නියෝග ලබා ගැනීමට ආරක්ෂක ඇමැතිවරයාට ඉදිරිපත් කළ විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර නැති බව ඒ මහතා කීය. 

ඔහු සාමාන්‍ය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඒ මහතා කීය.

මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය දීර්ඝ කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ලබන 13වැනිදා හෝ ඊට පෙර ගොනු කරණ ලෙස නියම කළේය.

පොලිස් මහජන පැමිණිලි ඒකකයේ පොලිස් පරීක්ෂක එස්.එච්.එස්.තුසිත කහගල්ලගේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

කුඩු සළිඳු “ඇතුළු තවත් හය දෙනකු සමග සිටියදී තමන් මැඩගස්කරයේ දී ඉකුත් පෙබරවාරි මස පළමු වැනිදා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරු විසින් සඳහන් කර ඇත. 

අනතුරුව මෙරටට රැගෙන ආ ඔහු රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැදවුම් රඳවා සිටින බව ද අනතුරුව දෙවන වරට එම රැදවුම් නියෝගය දීර්ඝ කර ඇති බව ද පෙත්සමෙහි සදහන් වේ. 

දිගින් දිගටම රැඳවුම් නියෝග ලබා ගැනීම නිසා සිය ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බැවින් මෙම රැඳවුම් නියෝග අවලංගු කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

මූලාශ්‍රය –  දිනමිණ

Trending

Exit mobile version