Connect with us

පුවත්

හරක් කටා හා කුඩු සළිඳු ආවෙලේ කටුනායක තිබූ වෑන් එක කාගෙද?

Published

on

මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් මෙන්ම අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු යන සැකකරුවන් ඊයේ (15) කටුනායක ගුවන් තොටට ආසන්නයේ නවතා තිබූ සැක සහිත වෑන් රියක් හේතුවෙන් ආරක්ෂක අංශ තුළ නොසන්සුන් තාවයක් ඇතිවූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, ඒ ගැන සිදු කළ විශේෂ විමර්ශනයකින් පසුව එය මෙම මෙහෙයුමට ආරක්ෂක රාජකාරි සඳහා පිටත්ව ගිය බුද්ධි අංශ කණ්ඩායමක් රැගත් එකක් බව අනාවරණය කරගෙන තිබේ.

මේ අතර, කිලෝමීටර් අටදහස් තුන්සියයක පමණ දීර්ඝ ගුවන් ගමනක් නිමාකරමින් නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ආ මෙම පාතාලයන් දෙදෙනා කටුනායක සිට කොළඹට රැගෙන එනතුරුත් විශේෂ ආරක්ෂක ක්‍රමවේද සලසා තිබූ බව වාර්තා වේ.

ඊයේත් ගුවන් යානය ප්‍රමාද වෙලා…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු මෙම පාතාල නායකයන්ව මෙරටට රැගෙන ඒමේදී වගකීම භාරව සිටියහ. 

ඊයේ අලුයම 3.30ට මුම්බායි ගුවන් තොටුපොළෙන් මෙරට බලා පිටත්වීමට තිබූ යූ.එල්.142 ගුවන් යානය ගුවන් මගියකු ගුවන් යානය තුළදී හදිසියේ මරණයට පත්වීම නිසා පැය දෙකක කාලයකට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබිණි.

මෙම අපරාධකරුවන් දෙදෙනා ශ්‍රී ලන්කන් ගුවන් යානාව තුළ ඒ වන විටත් රඳවා තිබුණේ ඔවුන් මැදිවන ආකාරයට නිලධාරීන් සිවුදෙනාගේ රැකවරණයේ බව පැවසේ.

මෙම නිලධාරීන්ගේ සහායට මැඩගස්කර් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුද සමස්ත ගුවන් ගමනට එක්ව සිටියහ.

එම ප්‍රමාදයන්ගෙන් පසුව අදාළ ගුවන් යානය පිටත්ව තිබුණේ අලුයම 5.30ටය.

දින හතරක් තිස්සේ නිදිවර්ජිතව පාතාල නායකයන් දෙදෙනා මෙරටට රැගෙන ඒමේ භාරධූර වගකීම භාරව සිටි නිලධාරීන් සිදුදෙනා මැඩගස්කරයෙන් මෙරට බලා පිටත්වන පළමු ගුවන් ගමන අරඹා තිබුණේ මාර්තු 11 වැනිදා එරට වේලාවෙන් රාත්‍රි 8.00ට පමණය.

එම ගුවන්යානයේ ගමනාන්තය තිබුණේ කෙන්යාවේ නයිරෝබි වෙතය.

ඒ වන විට මැඩගස්කරයෙන් මෙරටට රැගෙන ඒමේදී එරට බලධාරීන්ට ඩොලර් මිලියන ගණනක් වියදම් කර හරක් කටා ඇතුළු පිරිස මුදවාගැනීමේ මෙහෙයුමක්ද පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරමුන් අරඹා තිබූ බව පොලිසිය කියයි.

ඔවුන්ට නයිරෝබි ගුවන් තොටුපොළට පැමිණි පසු  ඉන්දියාවේ මුම්බායි වෙත ගමන් ගන්නා ඊළඟ ගුවන් යානයට ගොඩවීමට පැය 10ක කාලයක් කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපලේ සිටීමට සිදුව තිබේ.

කෙසේවුවද, අවසන් මොහොතේ එම ගුවන් යානයට හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු කිරීම ප්‍රතික්ෂේප වූයෙන් මීළඟ ගුවන් යානයක් එනතුරු තවත් පැය අටක් බලා සිටීමට නිලධාරීන්ට සිදුව තිබේ.

පැය දහඅටක් පුරා නයිරෝබි ගුවන් තොටුපොළ තුළ ආරක්ෂිත ස්ථානයක පාතාල නායකයන් දෙදෙනාට රැකවල්ලා සිටීම ආරක්ෂාවට සිටි නිලධාරීන්ට වූ අභියෝගයක් වී තිබේ.

මේ තත්ත්වයත් සමඟ ඒ වන විට හරක් කටා සහ කුඩු සලිඳු බයෙන් බිරාන්තව සිටි බවද වාර්තා වේ.

එම කාලය තුළ කෑම බීම සපයා දීම හා වැසිකිළි කැසිකිළි රැගෙන යෑමද සිදුවූයේ ආරක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය.

නයිරෝබි සිට මුම්බායි වෙත පැමිණ මාර්තු 14දා අලුයම මෙරටට පැමිණීමට ගුවන් යානා ටිකට් පත් වෙන්කර තිබුණද නයිරෝබිහිදි පැය අටක ප්‍රමාදයෙන් එම ගුවන් යානය මඟ හැරීඇත.

ඉන්දීය විශේෂ බුද්ධි කණ්ඩායමක්…

මේ නිසා පැය 24කට වැඩි කාලයක් මුම්බායි ගුවන් තොටුපොළ තුළ මෙම පාතාල නායකයන් දෙදෙනා ආරක්ෂිතව රඳවා ගැනීමට ඉන්දියානු රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙහිදී සහාය ලබාදීම විශේෂ සිද්ධියකි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද මෙහිදී සහාය දී ඇති අතර ගුවන් තොටුපොළේ ආරක්ෂාවට ඉන්දීය විශේෂ බුද්ධි කණ්ඩායමක්ද යොදවා සිටි බව වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත රැගෙනවිත් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව හරක් කටා සහ කුඩු සලිඳු ඉදිරි විමර්ශන සඳහා සී.අයි.ඩී.යේ හතරවෙනි තට්ටුව ලෙස හැඳින්වෙන කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ආවේය.

දින 90ක් රඳවාගන්න ජනපති අත්සන ගහයි

හරක් කටා හා කුඩු සලිඳු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශයට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) පස්වරු 4.00ට අත්සන් තබා තිබිණි.

හරක් කටා හා කුඩු සලිඳු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් හතරදෙනකු ඇතුළු නීතිඥවරුන් අටදෙනකුගේ කණ්ඩායමක් ඉදිරිපත්ව සිටින බව මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

හරක් කටා හා කුඩු සළිදු නිසා කටුකායක ආරක්ෂාව තරකරයි (ජායා) 

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්. ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනුයේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකිය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැකිය.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකිය.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

ඉන්දියානු ආරක්ෂක ගිවිසුම නිසා අපේ ආරක්ෂක හමුදාව ඉන්දීය රෙජිමේන්තුවක් වෙයි?

Published

on

By

“ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත්වීමට තවත් නොබෝ දිනකින්ම ලංකාවට නොම්මරය ලැබෙන්නට නියමිත” බව ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. 

එදාට කිසිවකුට කතා කරන්නට කිසි දෙයක් ඉතිරි නොවෙනු ඇති බවත්, එදාට ඊශ්‍රාලය බවට පත්වෙන්නේ මේ රටේ උතුරු නැගෙනහිර පළාත බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

‍මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට නොගෙනම ඉන්දියාවේ බල කිරීමට ඇතැම් ගිවිසුම් අත්සන් කරන්නේ නම්, ඒවා තම තමන්ගේ පක්ෂවල හා තම තමන්ගේ පෞද්ගලිකත්වය විසින් අත්සන් කරන ඒවා මිස, මේ රටේ ජනතාව හෝ මේ රට එකඟ වෙන විසඳුම් නොවන බව ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු යැයි ද උන්වහන්සේ කීහ.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (28) පැවැති දේශප්‍රේමි ජාතිමාමක ජාතික සමුළුවේදී අභයතිස්ස හිමියෝ මේ බව පැවැසූහ. 

මෙම සමුළුව සිංහලේ ලෝක උරුම පදනම විසින් සංවිධානය කර තිබිණි. 

මේ වන විට ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව විශාල භූමි ප්‍රමාණයක් ඉන්දියාව තමන්ගේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගනිමින් සිටින බවත්, විහාරස්ථාන රැසකුත් ඒ භූමියට ඇතුළත් බවත් උන්වහන්සේ කීය.

ඉන්දියානු ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් අපේ ආරක්ෂක හමුදාව ඉන්දීය රෙජිමේන්තුවක් බවට පත් කරන තැනකට තල්ලු වෙන බවද මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක බෙංගමුවේ නාලක හිමි. අස්ගිරි පාර්ශ්වයේ ලේකඛාධිකාරි මැදගම ධම්මානන්ද, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, සිංහලේ ලෝක උරුම පදනමේ අනුශාසක මහා බ්‍රිතාන්‍යයේ කස්සප යන හිමිවරු ද මෙහිදී අදහස් දැක්වූහ. ත්‍රෛනිකායික මහා සංඝරත්න සහ ජාතික සංවිධාන නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගී වී සිටියහ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved