Connect with us

පුවත්

හාල් හිඟයට හේතුව බියර් නිෂ්පාදනයයි, අවුල හැදුවේ සහෝදරයා ඇතුළු පාලකයන් – ඩඩ්ලි

Published

on

බියර් නිෂ්පාදනය කිරීම සඳහා නාඩු වී භාවිත කිරීමද සහල් හිඟයට හේතුවක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටී.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව හෙළි කළේය.

සහල් හිඟයට සහල් ව්‍යාපාරිකයින්ට පමණක් බැණ වැදීමේ ප්‍රතිඵලයක් නොමැති බවද ඔහු කියා සිටියේය.

බියර් නිෂ්පාදනයට, කුකුළු කෑම නිෂ්පාදනයට සහල් භාවිත කිරීම තුළින් නිර්මාණය වී ඇති සහල් හිඟයට තමන්ට වගකිව නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැතැයි ද ඔහු පැවසීය.

එම අර්බුදයට හේතුව එක් කන්නයකට නාඩු සහ අනෙක් කන්නයට කීරි සම්බා වගා කිරීම බවත්, එය ක්‍රමානුකූල කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලීම් කළද ප්‍රතිඵලයක් අත්නොවූ බවද ඔහු සඳහන් කළේය.

කීරි සම්බා හිඟයක් මඟ….

එලෙස ක්‍රමානුකුලව වගා නොකළහොත් ඉදිරි කන්නයේ දී නාඩු හාල් තිබුණ ද කීරි සම්බා ‍හිඟයක් ඇති වනු ඇතැයි ද ඔහු අනාවැකි පළ කළේය.

මෙම අර්බුදය නිර්මාණය කළේ 76 වසරක් තිස්සේ රට පාලනය කළ සිය සොහොයුරා ද ඇතුළු සියලුම පාලකයන් විසින් බවද හෙතෙම කීවේය.

‘‘අපේ ආයතනයේ මිලදී ගැනීම්වලින් සියයට හැට අටක් (68%)ක් කිරී සම්බා. සියයට දහයයි (10%)යි නාඩු. රටේ ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නේ නාඩු සහල්. විශේෂයෙන් දුප්පත් ජනතාව. නමුත් අවශ්‍යතාව වෙලා තියෙන නාඩු මිලදී ගැනීම සියයට දහයයි (10%)යි. මේක තමයි අනෙක් සහල් ව්‍යාපාරිකයන්ගේත් තත්ත්වය. මීට පෙර කන්නයේ කීරි සම්බා සියයට විසිහතරයි (24%)යි, නාඩු සියයට හැත්තෑ හතයි (77%)යි. මේක තමයි අපේ රටේ ගොවිතැනේ ගැටලුව.

මේක මගේවත් වෙන කාගේවත් ගැටලුවක් නොවේ. හැබැයි මම හැම රජයකම හිටිය විෂය භාර ඇමැතිවරයා දැනුවත් කළා. නමුත් පිළිතුරු ලැබුණේ නැහැ. හැබැයි ගොවියාත් දැන ගන්න ඕනෑ වගා කිරීමේදී හැමෝම වගා කරන වර්ගය වගා නොකර ඉන්න. අපි සහල් අලෙවි කරනවා වගේම බිත්තර වී නිෂ්පාදනය කර අලෙවි කරනවා. පොහොර හදලා අලෙවි කරනවා. දැන් මේ කන්නයේදී වැඩියෙන්ම විකිණෙන්නේ නාඩු. එතකොට මේ කන්නයේදී නාඩු ගණන් ගියා. ලබන කන්නයේ කීරි සම්බා හිඟ වෙනවා. පසුගිය කාලයේ කීරි සම්බා රුපියල් 380ට, 400ට, 420ට ගියා. ඒක දැන් 260ට බැහැලා. අවශ්‍යතාව සියයට දහයක් (10%)ක් වත් නැහැ.

ඉල්ලුම සහ සැපයුම තමයි වෙළෙඳ න්‍යාය. ඒ අනුව කිරි සම්බා ගණන් ගියා, ඒ නිසා සහල් ගණන් ගියා. මේ සැරේ ඔක්කොම කීරි සම්බා වැඩ කළා. ඒවා රුපියල් 235ට ගියා. හැබැයි නාඩු වී හිඟයි. ඒ නිසා නාඩු සහල් වැඩි ගානට තමයි වෙළෙඳපොළේ විකුණන්නේ. ලංකාවේ ජනගහනය මිලියන 22යි. ලක්ෂ 40ක් විතර රටේ නැහැ විදේශයන්හි ඉන්නේ. මිලියන 18ක් කෑමට ඉන්නවා. ඉන් ලක්ෂ 30ක් විතර අලුත උපන් දරුවන්. ඒ ගාන ඇරපුවාම මිලියන 15ක්. දවසකට කෝටි එකහමාරක් මේ රටේ කන්න ඉන්නවා. එක්කෙනෙකුට හාල් ග්‍රෑම් 110ක් තිබ්බොත් හාල් ග්‍රෑම් 330ක් එක්කෙනෙකුගේ දවසේ අවශ්‍යතාව වෙනවා. ඒ හාල් ග්‍රෑම් 330 වැඩි කිරීම මිලියන 15 හතළිස් නව ලක්ෂ පනස්දහසක් ඕනෑ දවසට හාල් කිලෝ. එතකොට මාසයකට හාල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස් අටදහස් පන්සීයක් ඕනෑ.

වසරකට ඕනෑ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක්. ලක්ෂ 18ක් හදන්න රටේ ආදායම මෙට්‍රික් ටොන් ලක්ෂ 46යි. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් හදන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් ඕන. එතකොට වී මෙට්‍රික් ටොන් දහඅට ලක්ෂ පනස්දහසක් කාලා ඉතිරි තියෙන්නත් ඕනෑ. මේ ප්‍රමාණයෙන් අපි අයින් කරන්න ඕනෑ බිතතර වී සඳහා. ඒ ටික ඇරියොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක්.

මේ කියන ආදායම අපේ රටේ ඇතුළේ නැහැ. හැබැයි නැතුව නොවේ. බියර් හදන්නේ හාල්වලින්, කුකුල් කෑම හදන්නේ හාල්වලින්, ඒවා හදන්න කීරි සම්බා ගන්නේ නැහැ. ඒවා හදන්න ගන්නේ නාඩු වී. ඒ නිසා අපි ඒ ව්‍යාපාරිකයන්ට බැණලා වැඩක් නැහැ. මොකද ඒවා රටේ අවශ්‍යතාව. කට්ටිය බියර් බිව්වත්, කුකුළන් හැදුවත්, බිත්තර කෑවත් ඩඩ්ලි තමයි මේකට වැරදි. නමුත් සත්‍ය කතාව මගේ නිෂ්පාදනය වැඩිපුර කීරි සම්බා. එය සියයට 75ක්. එහෙම බැලුවොත් මම නිෂ්පාදන කරන හාල් කන්නේ සල්ලි තියෙන මිනිසුන්. නමුත් චෝදනාව සම්පුර්ණයෙන්ම තියෙන්නේ මට. ඒ නිසා රජයට කරන චෝදනාවට මම විරුද්ධයි.

ගොවියා වැඩ කරන එකේ වගකීම මම දරන්න ඕනෑ නැහැ. අවශ්‍යතාවට අනුව වී නිෂ්පාදනය කරනවා නම් මේ ගොවියාට වී මිල ගැටලුව එන්නේ නැහැ. සියයට හැටක් (60%)ක් මේ රටේ කුඹුරුවලින් නාඩු වී වැඩ කළ යුතුමයි. කීරි සම්බා, සම්බා, රතු වී මේවා ඉතිරි සියයට හතළිහ (40%). මේ සැරේ වෙන්න යන්නෙත් ඒක. මේ සැරේ අපේ වැඩිපුර විකිණෙන්නේ නාඩු බිත්තර වී. ඊළඟ පාර කීරි සම්බා නැති වෙයි. ආයේ ඩඩ්ලි පනී. මේක කවුරුත් තේරුම් ගන්නේ නැහැ. වැඩිපුර තියෙන්නේ කීරි සම්බා. නාඩු වීවල තමයි හිගය තියෙන්නේ.

මේක දැන් තියෙන්නේ ගොවියා අතේ නොවේ ව්‍යාපාරිකයා අතේ. හැබැයි මම අද වනකන් නාඩු නිකුත් කරලා තියෙන්නේ රුපියල් 218ට. දැන් මගේ ළඟ කීරි සම්බා තියෙනවා වගේම ඒ හා සමානව නාඩු තියෙන වී මෝල් ව්‍යාපාරිකයන් හොයා ගන්න ඕනෑ. මට මේ ප්‍රෙෂර් එක දෙන්න එපා. අනිත් අය ගාව සියයට 75ක් නාඩු තියෙන්නේ. සියයට විසි පහයි (25%)යි කීරි සම්බා තියෙන්නේ. ඒ අය මේක හංගගෙන මට ගහනවා. ඒ අය ගාන වැඩියෙන් විකුණගෙන ආතල් එකේ ඉන්නවා. වෙළෙඳපලේ නාඩු පේන්න විකුණන්නේ නැහැ. ඒකයි ගැටලුව. මේක පාලන මිලට අලෙවි කරන්න බැරි වුණාම වෙළෙන්දා හංගනවා. එතකොට වෙළෙඳපොළේ හාල් නැහැ. හැබැයි වැඩි ගානට තියෙනවා. මේ වගකීම මට දරන්න බැහැ. ඒක මගේ රාජකාරියක් නොවේ. බියර් හදන කෙනා වැඩියෙන් ගත්තාම, කුකුල් කෑම හදන කෙනා වැඩියෙන් ගත්තාම ඒක තමා වෙළෙඳපොළේ මිල. ඒ මිලට තමයි අපිට ගන්න වෙන්නේ. ඒවාට උත්තර හොයලා ඉන්න. ඒක තමයි මේ ගැටලුව. අපි කරන සේවයට කවුරුත් ඇගැයීමක් දෙන්නේ නැහැ.’’

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved