Connect with us

පුවත්

විද්‍යාරත්නගේ චෝදනා වලට කීර්ති පිළිතුරු දෙයි (Update)

Published

on

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී සිදුකරනු ලැබූ චෝදනා සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (10) සිය ප්‍රතිචාරය දක්වා තිබේ.

ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේ හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් සහ ව්‍යාජ අත්සනක් යොදාගෙන බෝගහපැළැස්ස රක්ෂිතයෙන් අක්කර 18ක ඉඩමක් වංචනික ලෙස ලබාගෙන ඇති බවය.

“දැන් මේ ඉඩම් කවුද අරගෙන තියෙන්නෙ ? කේ. ටී. රංජිත්. හොයාගෙන ගියාම මේකෙ තියෙනවා හැඳුනුම්පත් අංකයක්. ඒ හැඳුනුම්පත් අංකයෙන් හොයාගන්න පුළුවන්නෙ මේ කීර්ති තෙන්නකෝන්ද කියලා. අපට හම්බවෙනවා මෙයාගෙ ඉල්ලුම් පත්‍රයේ දාලා තියෙන හැඳුනුම්පත් අංකය තමයි මේ උඩින් තියෙන්නෙ, මේකෙ අංක 13ක් තියෙනවා. අර සිරිලිය වගේ තමා මේවාත්. එයාගෙ ඇත්ත හැඳුනුම්පත් අංකය අපි හොයාගත්තා, මේ යටින් තියෙන්නෙ ඒක. බලනකොට උඩ එකේ බිංදුවක් වැඩියි. බිංදුව අයින් කරලා ගත්තාම කීර්ති තෙන්නකෝන්ගෙ තමයි හැඳුනුම්පත් අංකය. …”

අමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ චෝදනාවන් සඳහා ප්‍රතිචාර දක්වමින් තෙන්නකෝන් මහතා ෆේස්බුක් සටහනක් තබමින් හා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇත්තේ විද්‍යාරත්න තම කීර්ති නාමයට කැළලක් ඇති කිරීම සඳහා ඉහත සඳහන් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ඔහු දැනටමත් නීතිමය පියවර ගෙන ඇති බවත්ය.

අදාළ ෆේස්බුක් සටහන පහතින්,

ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදුකළ ‘ද්වේෂ සහගත අපහාසය’ සම්බන්ධයෙනි. 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න 2025 ජනවාරි 9 දින ඊයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මා සම්බන්ධයෙන් ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇත. ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අරමුණ මාගේ කීර්ති නාමය බිඳීමය ය.  ඒ සඳහා ඔහු සාවද්‍ය කරුණු, දේවේෂ සහගත ලෙස ගොතන ලද කරුණු අවමන් සහගත කරුණු ඉදිරිපත් කර ඇත. 

මා හට කරන ලද ‘ද්වේෂ සහගත අපහාසය’ පදනම් කර ගෙන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් මාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති ඇත. එසේ නමුදු, දැනට මාධ්‍ය තුල මෙම ප්‍රවෘත්තිය දඩමීමා කරගෙන සිදු කෙරෙන වැරදි සහගත සන්නිවේදනයට පිළිතුරක් ලබා දෙමි. 

ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, බදුල්ල – මොණරාගල දිස්ත්‍රික්ක මායිමේ තියෙන ගම්මාන දෙකකට විදුලිය ලබාදෙන ව්‍යපෘතියක් නැවැත්වීම/ප්‍රමාද කිරීම/අහෝසි කිරීම සඳහා මැදිහත්ව, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘විදුලිබල අමාත්‍යවරයාට’ කරුණු ඉදිරිපත් කර ඇති බව පිළිගනී.  

අන්නාසිගල, උණකන්ද දැනට වැඩ අවසන් කරමින් ඇති විදුලි ව්‍යාපෘතියට සවි කර තිබූ ට්‍රාන්ස්ෆෝමරය ගලවාගෙන යාමෙන් පසුව, සමන්ත  විද්‍යාරත්න ට විරුද්ධව ජනතාව උද්ඝෝෂණය කළේය. එය පුවත්පත් මගින් ප්‍රචාරය වීමෙන් පසුව තමන් වෙත එල්ල වූ විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඔහුට එරෙහිව සංවර්ධන ව්‍යාපෘතියකට බලපෑම් කිරීම පිළිබඳ චෝදනාව යටපත් කිරීම සඳහා මා සම්බන්ධ කර අසත්‍ය, ද්වේෂසහගත සහ වීකෘති කරන ලද කරුණු ගොතා ඉදිරිපත් කර ඇත. 

අමාත්‍ය සමන්ත මාගේ නම සඳහන් කරමින් ද්වේෂ සහගත සහ අවමන් සහගත කරුණු 19 ක් දක්වා ඇත. ඒවාට පිළිතුරු මෙසේය. 

1. මේ ව්‍යාපෘතිය ගැන ‘මතයක්’ (විනාඩි 1.12) ප්‍රකාශ කරන බව ඇමති සමන්ත පවසයි. ඔහුගේ සමස්ත පුවත්පත් සාකච්ඡාවම ඔහුගේ ‘මතය’ ලෙස ඉදිරිපත් කරන ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවන්නේමය. 

2. විදුලිබල අමාත්‍යාංශයට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙත්සම් රැසක් ලැබූ තිබුණ බව (විනාඩි 1.51) ඇමති පවසයි.  අමාත්‍යාංශය වෙත ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසුව පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ චන්ද්‍රදාස කොඩිතුවක්කු නම් බලහරුව ජවිපෙ සංවිධායකවරයා විසිනි. ඔහුගේ පුතා සහ දුව ද ජවිපෙ හි පූර්ණකාලීනයන්ය. ඇමති සමන්ත පෙත්සම් ගෙන්වා ගෙන ඇත්තේ කොඩිතුවක්කු සහ ප්‍රේමරත්න (පාතාල නායක නෙළුවේ ප්‍රියන්තගේ සහෝදරයා) යන අය මෙම ව්‍යාපෘතියට විරුද්ධ ගව පට්ටි සහ තණමල්විල ට ආවේනික වගාවන් සිදු කරන දෙදෙනා ගෙනි. 
 
3. ප්‍රශ්නගත විදුලි යෝජනා ක්‍රමයේ (විනාඩි 2.54) කණු ගලවාගෙන ගොස් නැති බව පවසයි.  මෙම ව්‍යාපෘතියේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සවිකිරීමට රැගෙන විත්, සමන්ත විද්‍යාරත්න විදුලිබල අමාත්‍යාංශයට කරුණු දැක්වීමෙන් පසුව එක් ට්‍රාන්ෆෝමරයක් රැගෙන ගොස් ඇත.  මහජන විරෝධය නිසා කණු ගලවා රැගෙන යාමට නොහැකිවී ඇත. 

4. (වි. 3.35) 2013 දී බෝගහපැලැස්ස රක්ෂිතය ගැසට් කරනු ලැබූවේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 16 ක රක්ෂිතයට ඇදෑ ගනිමිනි. අවම වශයෙන් බෝගහපැලැස්ස රක්ෂිතයට රජයේ මිනින්දෝරු විසින් සකස් කළ පිඹුරක් හෝ නොමැත.  බෝගහපැලැස්ස රක්ෂිතයට ඔප්පු සහිත ඉඩම්, ස්වර්ණ භුමි, ජයභුමි, සහ බලපත්‍ර සහිත ඉඩම් ද ඇතුලත් කර ඇත.  මෙම ඉඩම් දීරඝ කාලයක් ප්‍රදේශවාසීන් විසින් ද, පසුව එම ස්ථානයට පැමිණි පිරිස් විසින් ද වගා කර ඇත. 

5. 1970 -1978 සමයේ දී තුනී ලෑලි සංස්ථාවට අවශ්‍ය දැව ලබාගැනීම සඳහා මෙම වනය එළිපෙහෙළ කර ඇත. පසුව දිගින් දිගටම හල්දුමුල්ල, මිද්දෙනිය, තණමල්විල, ගාල්ල ප්‍රදේශවලින් පැමිණි ජනතාව විසින් මෙහි වගා කටයුතු සිදු කර ඇත.  වන සංරක්ෂණ, ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ඒ පිළිබඳ සාක්ෂි දරනු ඇත. 

6. (වි. 6.50) සමන්ත පවසන්නේ අන්නාසිගල ගොවි සංවිධානය විසින් ඉදිරිපත් කර ඉඩම් ලේඛනයක කේ.ටී.රංජිත් නමින් රජිත් කීර්ති තෙන්නකෝන් ගේ නම සඳහන් වන අතර එහි මාගේ පුද්ගල හැඳුණුම්පත් අංකය ‘0’ ක් වැඩිපුර යොදා ලියා ඇති බවයි. එම අයඳුම්පත්‍රයේ මාගේ අත්සන ව්‍යාජ ලෙස ගසා ඇති බවයි.   ඉතා පැහැදිලිව, නිරවුල්ව, අවධාරණයෙන් පැවසිය යුත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ මා සතුව කිසිදු ඉඩමක් නොමැති බවයි.  හල්දුමුල්ල කොට්ඨාශයේ නොමැති ඉඩමකට මාගේ නම වැරදියට ලියා, වැරදි හැඳුණුම්පත් අංකයක් ද සහිතව කිසිදු අයඳුම්පතක් ඉදිරිපත් කිරීමේ කුමන හෝ අවශ්‍යතාවයක් මා හට නැත. මෙය චේතනාන්විත අපහාසයකි. (අනෙක් අතට, ඉඩම් ලබා ගැනීමට කුමන හෝ  ප්‍රාදේශීය ලේකම්‌ වෙත ඉල්ලීමක් සිදු කරන්නේ නම් වැරදි නමක් හා වැරදි හැඳුණුම්පත් අංකයක් ඉදිරිපත් කිරීමෙන් ඉඩම් අයිතියක් ලබා ගත නොහැකිය.) 

7. කෙසේ නමුත්, මොණරාගල දිස්ත්‍රික්කයේ පාරම්පරිකව හේන් වගා කළ ඉඩමක් 2020  කෙරෝනා වසංගතය අවසන් වූ පසුව මා විසින් මුදල් ගෙවා ලබාගෙන වගා කරන ලදී. අදාල ඉඩම ප්‍රතිෂ්ඨාවක් සඳහා 2020 දී (එනම් මා කිසිදු රජයේ තනතුරක් නොදරණ අවස්ථාවක) මුදල් දී මිලදී ගත් අතර එහි දී කිසිදු ආකාරයකට බලය අයුතු ලෙස භාවිත කොට නොමැත. එම ඉඩම් මිලදී ගැනීම පූර්ණ වානිජ්‍ය ගණුදෙනුවකි.  ඒ වන විට එහි තිබූ වාඩිය වසර 30 කට ක් පුරා වවා කොස්, අඹ, දොඩම්,  වෙනත් ගස් වර්ග ඇත. පරිසරය, කුරුල්ලන් සහ සතුන් ඡායාරූපගත කිරීම විනෝදාංශය කර ගත් මම හෝ එහි සිටි කිසිවෙකුත් එහි කිසිදු ගසක් කපා නොමැති බව විමර්ශනයක දී තහවුරු වනු ඇත.  

8. (වි.10.01 ) මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි මා විසින් ඉහතින් දැක්වූ ඉඩමේ කොටසක හිමිකරු (ශාන්ත) ගේ විඩියෝවක් ඇමති සමන්ත විසින් ප්‍රචාරය කරයි. එය ඔහු සචේචතනිකව ද්වේශසහගත ලෙස අර්ථ දක්වන්නේ ‘මේ ඉඩම  බලාගන්නා පුද්ගලයා’ කියාය. 

9. (වි. 10.45) දී ඇමති සමන්ත පවසන්නේ මා විසින් 2020 – 2021 සමයේ දී පරිහරණය කළ ඉඩම ‘ජනාධිපති ලේකම්, ආණ්ඩුකාර ධුයේ බලය පාවිච්චි කර’ යැයි අතිශයින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදු කරයි. මෙම ඉඩම පරිහරණය කල සමයේ මම එවැනි කිසිදු තනතුරක් දරා නැත. 

10. සමන්ත විද්‍යාරත්න (වි. 11.01) ප්‍රකාශ කරන අන්දමට අලුත්වෙල, උණකන්ද, බලහරුව, තණමල්විල, හල්දුමුල්ල සිටින හේන් වගාව සිදු කරන ගොවීන් අත්අඩංගුවට ගෙන, හිරේ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්ති නම් අවම වශයෙන් තුන් දහසකට වැඩි පිරිසක් මෙම කලාපයෙන් ඉවත් කළ යුතුය. 

11. (වි.5.11) දී ඇමති පවසන්නේ මේ වන විට ජාවාරම්කරුවන් විසින් අක්කර 5,482 ක් අල්ලා ගෙන ඇති බවයි. ඔහුගේ ද්වේෂය හා අපහාසක කොපමණ ද යත්, එයින් අක්කර 18 ක (0.0032%) ඉඩමක් ගැන පමණක් පවසයි. 

12. (වි. 13.45) දී අන්නාසිගල, උණකන්ද හා (ඇමති පවසන පරදි බෝගහපැලැස්ස රක්ෂිතයේ) කටයුතු අසරණ ගොවීන්ට වගා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඇමති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් පවරයි.  සැබවින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිය කුමක්ද යන්න අමාත්‍යවරයාට වඩා හොදින් දනී. රක්ෂිතයෙන් පිටත, අලි වැට ගසා මායිම් ලකුණු කර ඇති 1978 සිට පුද්ගලික පරිහරණයේ පවතින ඉඩම්වලින් ගොවීන් එළවීමට බලයක් තමන්ට නැති බව ද නිලධාරීන් දනී. 

13. (වි. 14.15) අමාත්‍යවරයා මෙම විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලයට චෝදනා කරයි. ඔහුට අනුව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් නීතිය නොදන්නා, දුෂිතයින් ය. 

14. (වි. 14.32) ජනවාරි 6 දින ‘අලි පෙරළපු විදුලි කණු’ යැයි සමන්ත විද්‍යාරත්න පවසන්නේ විදුලී බල මණ්ඩලය බන්ඩල් වයර් ඇදීමටත් පෙර සිදු වූ සිදුවීමකි. මෙය පට්ටපල් බොරුවකි. මෙම කණුව කැඩී තිබුණේ විදුලි කණු ගෙන ගොස් දැමූ (මාස 3 කට පෙර) දිනකය. විදුලිබල මණ්ඩලය බන්ඩල් වයර් සවිකර ද මාස දෙකකට වඩා ගත වී ඇත. 

15. (වි. 15.31) ඇමති සමන්ත පවසන්නේ මේ පිලිබඳ රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන බවයි. 

16. (වි. 16.52) දී අන්නාසිගල ඉඩම් ලබාගත් පුද්ගලයින්ගෙන් රු. ලක්ෂය බැගින් ලබාගත් බව (වි. 17.26) පවසයි.  ඒ කවුද? කවදාද?  කාගෙන්දැයි? ඔහු නොපවසන නමුත්, සමස්ත සාකච්ඡාවට මා කේන්ද්‍රගතව සිදුවන බැවින් වක්‍ර ලෙස මම මුදල් ලබා ගත් බව වංචනිකව ද්වේෂසහගතව ආරෝපණය කරයි.  

17.   (17.49) කීර්ති තෙන්නකෝන් අඹ පැල සොයා දෙන්නම් යැයි කියනවා’ මාගේ ඉඩමේ වානිජ්‍ය අඹ වගාවක් නොමැති අතර කිසිදු අයෙකුට රජයේ අඹ පැල ලබාදී හෝ ලබා ගැනීමට සහාය දීමක් හෝ සිදු කර නැත. (වි. 18.50) දී කීර්ති තෙන්නකෝන් කොල්ල කා ඇතැයි පවසයි. මේ සියළු කරුණු සචේතනික අපහාසාත්මක ප්‍රකාශයන් ය. මේ කරුණු අධිකරණය හමුවේ ඔප්පු කිරීමට ඇමති සමන්තට මම අනිවාර්යයෙන්ම අවස්ථාව සලසා දෙන්නෙමි. 

18. (වි. 19.42) දිගින් දිගටම මා දැරූ සහ නොදැරූ තනතුරු දක්වමින්, අතිශයින්ම සාවද්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ කිහිපයක් සිදු කරයි. 
19. ඇමති පවසන්නේ, (වි. 20.10) දී ගමේ කොටසකට පමණක් විදුලිය ලබාදෙන බවත් තවත් පිරිසකට විදුලිය ලබා නොදෙන බව ත් ය.  දැනට විදුලිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිස් වෙත විදුලිය ලබා නෙදෙන්නේ නම් ඒ පිළිබඳ සුදුසු ඉදිරි පියවර අප විසින් ගන්නෙමු. 

තව ද, ‘දුෂණයක් බලපෑමක් හෝ නොකර හැරීමක් සිදුවී ඇත්තේ විදුලි ව්‍යාපෘතිය තුල ද, ඉඩම් ගනුදෙනුව තුල ද යන්න ඇමතිවරයා නිශ්චිතව සඳහන් නොකිරීමට සුක්ෂම හා පරිස්සම් සහගත වී ඇති බව ද, අවධාරණය කරමි.    

අන්නාසිගල, අලුත්වෙල ගම්මාන පිහිටා ඇත්තේ උමාඔය විදුලි බලාගාරයේ සිට කි.මි. 5 කට පමණ අහස් දුරකිනි. ඇමති සමන්ත ගේ උමාඔය විරෝධයට එක් නොවූ  එකම ගම්මානය අන්නාසිගල හා අලුවෙල යි. ඇමතිවරයාගේ උමා ඔය විරෝධය විසින් අත්තනෝමතික ලෙස සංවර්ධන ව්‍යාපෘති අඩපණ කර, මේ රටේ අන්ත අසරණ ජනතාවකට විදුලි බලය අහිමි කිරීම අපරාධයකි.

  
මම 2017 තරම් ඈත යුගයක සිට ‌’බෝගහපැලැස්ස’ රක්ෂිතය රැක ගැනීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඇමති පවසන පරිදි, එහි අක්කර 5,482 ක් ජාවාරම්කරුවන් විසින් අල්ලාගෙන ඇති නම්, ඒ සියළු ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දිය යුතුය. 3,000 ක් පදිංචිව සිටින තැනකින්, තනි පුද්ගලයෙකු පමණක් වන මට අපහාස කිරීමට විනාඩි 30 ක පුවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම තුල ඇමති ප්‍රකාශය ‘උමා ඔය හිල’ ට වැඩි දෙයක් නොවන බව තහවුරු වන්නේය. මාස 3 ක් තුල ඩොලර් බිලියන 6 ක සංචිතයක් ගොඩනැගීමේ බොරුවට වැඩි දෙයක් නොවන බව පැහැදිලිය.    
මා සම්බන්ධයෙන් වන ඉහත ප්‍රවෘත්තිය අපහාසාත්මක ප්‍රකාශයක් බැවින් කිසිදු මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයක පළ නොකිරීමට වග බලා ගන්නා මෙන් ඉල්ලමි. 

එසේම, ඉහත ප්‍රවෘත්තිය පළ කළ සියළුම මාධ්‍ය ආයතනයන් වෙතින් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳ මාගේ කරුණු පැහැදිලි කිරීම සමාන හා සුදුසු ඉඩක් ලබාදී  ප්‍රචාරයක් ලබා දෙන ලෙස ය. 

මෙයට විශ්වාසී, 
රජිත් කීර්ති තෙන්නකෝන්


(පෙර පුවත: 2025 ජනවාරි 10, පෙ.ව.8:06)

හිටපු ආණ්ඩුකාර කීර්තිට ඇමති සමන්තගෙන් චෝදනා

හිටපු ආණ්ඩුකාරවරයෙකු සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් සහ ව්‍යාජ අත්සනක් යොදාගෙන බෝගහපැළැස්ස රක්ෂිතයෙන් අක්කර 18ක ඉඩමක් වංචනික ලෙස ලබාගෙන ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“දැන් මේ ඉඩම් කවුද අරගෙන තියෙන්නෙ ? කේ. ටී. රංජිත්. හොයාගෙන ගියාම මේකෙ තියෙනවා හැඳුනුම්පත් අංකයක්. ඒ හැඳුනුම්පත් අංකයෙන් හොයාගන්න පුළුවන්නෙ මේ කීර්ති තෙන්නකෝන්ද කියලා. අපට හම්බවෙනවා මෙයාගෙ ඉල්ලුම් පත්‍රයේ දාලා තියෙන හැඳුනුම්පත් අංකය තමයි මේ උඩින් තියෙන්නෙ, මේකෙ අංක 13ක් තියෙනවා. අර සිරිලිය වගේ තමා මේවාත්. එයාගෙ ඇත්ත හැඳුනුම්පත් අංකය අපි හොයාගත්තා, මේ යටින් තියෙන්නෙ ඒක. බලනකොට උඩ එකේ බිංදුවක් වැඩියි. බිංදුව අයින් කරලා ගත්තාම කීර්ති තෙන්නකෝන්ගෙ තමයි හැඳුනුම්පත් අංකය. අන්න එයා තමයි කේ. ටී. රංජිත් කියන ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නෙ. හිටපු ආණ්ඩුකාරවරයා, ජනාධිපති ලේකම්වරයෙක්. මෙයා මේකෙ අරන් තියෙනවා අක්කර 18ක් තියෙනවා ඉඩම. මඩෙන් පහයි, ගොඩින් දහතුනයි. දැන් මේකෙ තියෙනවා වංචාවක්. කීර්ති තෙන්නකෝන්ගෙ අත්සන ව්‍යාජයි. කීර්ති තෙන්නකෝන්ගෙ ඇත්ත අත්සන මේ තියෙන්නෙ, මේ තියෙන්නෙ තමන් ඉඩම් ඉල්ලන්නෙ නෑ කියන්න ව්‍යාජව ගහපු අත්සන. දැන් මේ කීර්ති තෙන්නකෝන්ට මෙතන ඉඩමක් තියෙනවා කියලා මම වීඩියෝ එක්කුත් පෙන්වන්නම්”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර කීර්ති තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවෙහි තබා තිබුණේ මෙවැනි සටහනකි.

සබැඳි පුවත්

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත්  හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන්  නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි  ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුලි 01 ප.ව.3.52 )

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

රටවිරුවන්ගේ දරුවන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

2019.01.01 දින සිට 2024.09.15 දක්වා කාලය තුළ කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ නිරතව සිටින දෙමාපියන්ගේ දරුවන් සදහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, 2023 (2024) වර්ෂයට අදාළ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත් හා 2023 (2024) වර්ෂයට අදාළව අ.පො.ස (උසස් පෙළ) විභාගය සමත්ව රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක හෝ නැතිනම් රජයේ කාර්මික විද්‍යාලයක හෝ වෙනත් රජයේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සඳහා රු.25,000.00 ක මුදලක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.30,000.00 බැගින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දරුවන් සඳහා රු.40,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

මෙම ශිෂ්‍යත්ව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන අතර, කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සඳහා අයදුම් කළ හැකිය.

2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2688 දෙනෙකු සඳහා රුපියල් මිලියන 81.12 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා ඇත.

Continue Reading

පුවත්

දූෂණ විරෝධී යාන්ත්‍රණය සවිමත් කිරීමට ජපානයෙන් ඇ.ඩොලර් මිලියන 2.5ක්

Published

on

By

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio ISOMATA මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාර ඉදිරියේදී  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද ( 01) පෙරවරුවේ සිදු විය.

රාජ්‍ය හා ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය හා ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා පාලනයේ සහ ව්‍යාපාර භාවිතයන්හි විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, දුෂණයට අදාළ විමර්ශන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සඳහා ආයතන ශක්තිමත් කිරීම, කොටස්කරුවන් සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නඩු පැවරීමේ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව ඵලදායි ලෙස සවිබල ගැන්වීම සහ සමාජ වගවීම වැඩිදියුණු කිරීමට පුරවැසියන් බල ගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කරනු ලබයි.

තරුණ පිරිස් මාධ්‍යවේදීන් සහ ළමුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම අපේක්ෂා කරනු ලබන අතර, දුෂණයට එරෙහිව අඛණ්ඩව සහ ක්‍රියාකාරීව දායකවීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහත්වරුන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved