පුවත්

ඇප ලැබුණු වියාලේන්ද්‍රන් නැවතත් බන්ධනාගාරයට

Published

on

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණි.


(පෙර පුවත 2025 අප්‍රේල් 08 ප.ව.4:08)

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර තිබෙන බව සඳහන් කරන ලදී.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත් මෙම සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසාත් ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය  අදාළ සැකකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහැරීමට නියම කලාය.

අනතුරුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නියම කරන ලදී.

සබැඳි පුවත්

Trending

Exit mobile version