Connect with us

පුවත්

හිටපු ජනපතිවරුට ලබා දී ඇති ත්‍රිවිධ හමුදාව ලබන සතියේ සිට ඉවතට

Published

on

පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය.

මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුනු අනාවරණය කරනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මහජනතාවගේ මුදල් රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැය කරනු ලබන අතර එම මුදල රුපියල් මිලියන 1448ක් බවය.

“අදත් හිටපු ජනාධිප මහින්ද රාජපක්ෂ මහතාට පොලීසියේ 60ක් සහ ත්‍රිවිධ හමුදාවේ 228ක් වශයෙන් නිලධාරීන් ආරක්ෂාවට සහ අනෙකුත් කටයුතුවලට යොදලා තියෙනවා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 4ක් සහ පොලිස් නිලධාරීන් 60ක් ආරක්ෂකයින් වශයෙන් යොදලා තියෙනවා.

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා අදත් ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 22ක් ආරක්ෂාව සඳහා සපයා දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරීන් 57ක් සහ 60 යොදවලා තියෙනවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරීන් 60ක් ද හේමා ප්‍රේමදාස මැතිනියට පොලිස් නිලධාරීන් 10ක් ද වර්තමානයේ ආරක්ෂාව සඳහා පවතිනවා.”

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය මාස එකොළහමාර තුළ රජය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1448ක වියදමක් දරා ඇති ආකාරය සම්බන්ධවද පාර්ලිමේන්තුවේදී කරුණු අනාරණය කරනු ලැබීය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමාට ආරක්ෂාව සපයලා තියෙනවා ආයතන 3කින්. එකක් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජනාධිපති කාර්යාලය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය මාස එකොළහමාර තුළ විතරක් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 328ක්, පොලීසියෙන් මිලියන 327ක් වැය බරක් දරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මිලියන 55ක් දරලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 710ක් මාස 11ක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දරලා තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් මිලියන 6ක්, පොලීසියෙන් මිලියන 185ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 16ක් වශයෙන් මිලියන 207ක වැය බරක් දරලා තියෙනවා.

ඒ වගේම ගෝඨාභය රාජපක්ශ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් ජනාධිපතිකාර්යාලයෙන් මිලියන 10ක් වශයෙන් සම්පූර්ණව රුපියල් මිලියන 307ක් වැය බරක් දරලා තියෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලයෙන් මිලියන 3ක් වශයෙන් මේ මාස තුනට රුපියල් මිලියන 82ක් දරලා තියෙනවා.

චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 99යි, ජනාධිපති කාර්යාලය මිලියන 12යි සම්පූර්ණ වියදම රුපියල් මිලියන 112යි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව වැය බර දරලා නෑ. පොලීසිය මිලියන 30යි, ජනාධිපති කාර්යාලය මිලියන 03යි, සම්පූර්ණ මුදල මිලියන 32යි.

ඒ අනුව ගරු කථානායකතුමනි සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1448ක් මේ මාස එකොළහමාර ඇතුළත වැය බරක්, ජනතාවගේ මුදල් මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැයබර සඳහා රජය වැය කරලා තියෙනවා. මේක ඉතාම අසීරු තත්ත්වයක්.”

පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය දවස් දෙකකින්…

Published

on

By

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවය.

නයෝමි ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවය.

Continue Reading

පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

By

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved